සැළලිහිණි සංදේශය පිරිවෙන් නව නිර්දේශය 2017 අන්තර්ජාල උපුටා ගැනීම්

https://si.wikipedia.org/wiki/සැළලිහිණි_සන්දේශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
සැළලිහිණි සන්දේශය යනු කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපර‍මේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සන්දේශ කාව්‍යයකි.
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය නමින් ‍හැඳින්වේ. දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ගම්පොල යු‍ගයේ දී ලියැවුණු මයුර සන්දේශ කාව්‍යය යි. සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ කෝට්ටේ යුගයෙහි දී ය. ඉන් පසු එය සීතාවක යු‍ගය ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.
රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ සවන පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.
මෙය ‍පද්‍ය 111 කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යය‍කි. එහෙයින් සැළලිහිණි සන්දේශයට සිංහල සාහිත්‍යයේ හිමි වන්නේ උසස් තැනකි.
http://www.edulanka.lk/library/sandesha/salalihiniyaසැලලිහිණි සංදේශය
Tuesday, 23 November 2010 16:30

සැලලිහිණි සංදේශය

ආසී 
සැරදෙ සුලකළකුරු  මියුරු තෙපලෙන් රඳනා  
රජකුල රහසැ මැතිනිය  සියනිහි සැළලිහිණි සඳ  

සැපදුක් විමසුම්

පුල් මල් කෙසරු මෙන්  රන්වනි තෙලෙ සරණ යුග  
සපුමල් කැලෙව් තුඬ මඳ රතිනි මනහර  
නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර  
මලින් කළ රූවෙව්  එබැවින් නුබින් එන වර  

නිලූ ද ළද සිදඹුවො දිගු වරල නිලූ  
නිලූ ද වට බිඟු පෙළ අද තඹර නිලු  

වනදෙව් ලියෝ නොකොළොද සවන  අබරණ?
එනමග දුකෙක් නොවී ද සබඳිනි    කලණ
සෙනහස බැඳුණු තැනැ නොහරින කැරැ දියුණ
වෙන සැප කුමට තොප දකිනා එමපමණ?

ලප නොම වන් සඳ වන් සොමි ගුණ ගිහිණි
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි    පැමිණි
සැප රිසි දෙන වැනි රස බසැති    සිතුමිණි
තොප දැකුමෙන් අප පින් කළ බවදැනිණි

කටයුතු නිදෙස

මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි මපැවති
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති
යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණඇති
සිතු නතු කර අස යහළුව වඩන    රුති

පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර බර
ලෙව් තුරු සුසැදු යස මිණිමුතු මල් පතර
සව් සිරි පිරි සුරපුර වන් කැලණි    පුර
දෙව් මෙහසුන් විබිසණ සුරිඳුට    පවර

ජයවද්දන පුර වැනුම්

ගනවන් මියුරු නද දෙන ගුවන වන් විට
විලසින් මෙමා කරවන මිතුර මන් තුට
එහසුන් පැසුළු පවසමි රස නුසුන් කොට
අසදැන් ත යන මග සලකුණු මෙතැන් සිට

පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින්    හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම    නමා
ජයවද්දන පුරවර දනු මිතුරු    තුමා

සැදි රත තඹර පෙළ රන තිසරුන් රුවැති
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු    පටැති
රැඳි රළ රළැති හොය දියවන්නා    නමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි    නිති

සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
සුලකළ පුවල ලකඟන සිරි යොවුන් වර
තරකළ විසල් වාසල් යතුරු මෙ    නුවර
බැඳහළ රුවන් තනපට කියලි ය    පවුර

දුවන බඳ කිකිණි හය කුර පහර    නද
සවන තල නිනද ගිජිඳුන් සෙමෙර බඳ
රවන නොයෙක තුරු ජය සක් හඬ නොමඳ
දෙවන මුහුද මෙන් ගුම් ගනි පුර    නිබඳ

සිහිල් සපු සුවඳ ගෙන එන උයන් වල
සිහිල් නෙලෙන් හඬවන මිණි කිකිණි කැළ
විපුල් රත් සෙමෙර බඳ රන් දද    සසල
ළකල් මෙපුර තුළ වළහා රිවි තැවුල

තරසර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර
සුරසිදු විදුදරන් සැදි සඳලු මනහර
කරවන මඟුල් කෙළියෙන් නොමැති අවසර
පුරසිරි බලන ලෙස බට සුර විමන් යුර

සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි    මිටින
නිසි පුළුලු කුළ රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන

සොඳුරු සිය නදන් අනුතුරු දෙස    සිටින
කිනුරු නිසසරන් කදහස වෙත    නොවන
ඉසුරු දනද සිය නිකෙලෙස් තැන    රඳන
උතුරු දිගිඳු පුර දිනි මෙපුර වැජඹෙන


ගමන් පිරුම

උදේ සැපත් සුරගුරු අලු කැරැ    අවට
සඳේ මුදුන් පත අස්විද නැකතැ    සිට
නඳේ සිතින් තම කුල දෙවිය සිහි    කොට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි    ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන්    කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද    වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත්    වැඩි


දළදා වැනුම

ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව්    සැදි
දෙන නොමදා සිරි සග මොක් සැප    නිසැදි
ලද මුනිදා දම් කඳ පහස මන    බැඳි
වඳු දළදා හිමි තෙමහල් පහයැ    රැඳි


රජ දැක්ම

ගනරන් කොතින් දිලිහෙන මිණි රැස්    විහිදු
පවනින් ලෙළෙන පල අග මුතුලැල්    සිනිඳු
සඳකැන් මිණෙන් බඳ යුතු බිතු පෙළින්    රුදු
එතැනින් ගොසින් සැණෙකින් රජ විමන් වදු    වදු

රිවි බිම්බා යුරු රිවි කුල    කමලකර
පියුමම්බා නිතොර ව රැඳි උර    මැඳුර
මෙනරම්බා හිමි රූ සිරිනි    පැහැසර
පැරකුම්බා නරනිඳු සඳ දකු    මිතුර

උනු නොව බරණ සිවු සැට වොටුනුත්    පැළඳ
වෙනු මෙන් පසක් උන් සඳ සීහසුන්    මැද
මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙළ    නොසිඳ
ගනු අවසර එ නිරිඳු සිරි පතුල්    වැඳ
නික්මුම

පෙරව සඳ කිරණ පිපි කුමුදු මල්    වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා    පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන    අටින්
කරව පියාසර සකි කොන්ත ගං    තොටින්

නිසා වැනුම්

කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ
සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ    පතළ
කැරැ ලොල් සතන් පවසන තියු ගී දෙමළ
මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකළ

උදා වැනුම්

වෙසඟන තුඟු තන යුග රොන්    කොකුමඟර
පිස එත මඳ පවන් හැද විල් ලිහිණි    සර
ගොස අලුයම පස තුරු සවනතෙහි    කැර
ඇස නිදිගැට හැර නැඟ සිටු උදා    හිර

උදා ගිරි කසුන් රිටි වැට හිස    බැබළි
එදා සහසකර පහනෙව් කරත    හෙළි
යොදා නුවන් ඉසුරුට කරන පුද    කෙළි
විදා පියා නිලඹර යන් නොවී    මැළි


මග වැනුම්

සුරරද සමන් සමගින් සුරඟන    එවර
පැහැනද මදාරා පරසතු මල්    පතර
කරපුද වඳින රැඳි මුනි සිරි පා    තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල    නැගෙනහිර

ගනේ මිණි බැබළි කිරණෙව්    සතපාය
රනේ යටග සැවුළිඳු දද    ගළපාය
අනේ ලකර කළ පුර අප නර    පාය
පෙනේ දකුණැ මහසෙන් දෙව් රදපාය

වලඳින අදහසින් මෙන් සුර ගඟ    අඟන
නලබල සසල දළ රළ පෙළ නුබ    නැගෙන
වෙලළසැ ගැවසි මුතු සක් පබළු    බබළන
බල මහ මුහුද එම සඳ උතුරෙන්    පෙනන

සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි    තෙලෙන
තැන් තැන් වල ම සැතපී සියුමැලි    බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන්    අතින
යන්මන් තොසින් මග තොරතුරු නියම    දැන

නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව්    සිරින
දුල කැරැ සේසත් මිණි බරණ    කිරණින
බලපිරි සෙන් සහ යාපා පටුන්    ගෙන
බල සේනානායක සපු කුමරු    එන

අග පිපි මල් මලිගිය ලිය    කැලේ යා
වග බැඳ හෙන රජ හස පුල්    විලේ යා
ළඟ තුරු මල් ගිලිහුණු    රොනවුලේ යා
මඟ බැස යව පළ හෙළ වැලි    තෙලේ යා

අයිරාවණ වුවත් නවතන රිසින්    එන
අයිරා දහස් දිලි දුනු කොත් සිපත්    ගෙන
කයිකාවලෙහි දැක සෙබළුන් රැකසිටින
වයි යා කරන් මල් තුරු ගන වන    හිසින

නිමල් සඳ පහන් වැනි වැලි පිට    උදුළ
සුපුල් මල් යහන් ලිය මඬු ලිය    ගෙපෙළ
එකල් කෙළින වන දෙව් ලිය දැකකොමළ
ළසල් රුකෙක සැතපෙව ළපලු    සිහිලළ

මල්දම් සුවඳ දුම් දුන් සොඳ    වරලසිනි
කල්ගිම් නිවා සැනහෙන සිහිලස    රසිනි
කොල්ලම් ගසින් නිල් ඉවුරැති    පොකුණසිනි
වල් අම්බලම දැක යාගන්    සහතොසිනි

කස්තුරු තිලක සැදි නළලත    සුමුටාන
පුලමහනෙල් මල් දම් හිස    දවටාන
සලෙළුන් යනෙන නිති කැරැ කෙළි කවටාන
රිවි මුදුනත වන මැද වදු    සුමුටාන

මඟ නිලමින් සිටි නා දොඹ නී    පියල
පියසලමින් මලගෙහි කෙළැ    රොනිනවල
තතුඬ ලමින් බිඳැ විලිකුන් මියුරු    පල
ඉසුඹු ලමින් යෙහි සැළ දඹ    පඳුරුවල

රිවිතැවුලේ පිපි කමලේ විල්    ගැවසී
මත කොවුලේ තුරු වදලේ හඬනනිසී
වන සැවුලේ මඟ අසලේ පොර    සැලසී
ගුරු බැවුලේ යව අවුලේ නො වී    කිසි

වනසිරි පියුම් රා බඳ රනබරණ    යුරු
වටසිරි සුපුල් දුනුකේ මල් මුරුත    තුරු
බිඟු පිරිවැරූ ඔලුපුලැඹුලවල    තඹුරු
හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු

සලාදුලා පියොවුරු තඹර රොන්    රත
පුලා නිලා උපුලන් ලා ගෙන    කනත
කලා පිලා නො ව ඇල් ගෙවි කෙළින ඉත
බලා පලා යව අස්වන් ගුරුළු    කෙත

බන්නේ මරා මිණි දුල පබළු මුතු    පට
වැන්නේ ගමඹු ගෙලෙ පල මල් කුමුකු වට
ගන්නේ තසිත එබැවින් නො වැද කෙළියට
යන්නේ වෙළෙඳගොඩ දැක මඳ කලක් සිට

අවට සුපිපි සපු දුනුකේ    සලළාන
හඬන තැනින් තැන විලිකුළු    කිරළාන
පැසී නැමි කරල් රත් හැල්    සහළාන
වඩින මැනවි මහ වෙල මැද    වෙරළාන

පත් ගන පුල් මල් දොඹ තුරෙක    පියකරු
සිත් පිනවා ඉඳ සැළලිහිණින්    අතුරු
ගත් සරතස හැර විඳ සුවඳ මඳ    මරු
කිත්සිරිමේ වෙහෙරට වදුව    පස්වරු

සොඳ මුනිරද පිඬු කළ යස මෙරද සම
පුද කළ ඔහු නෙත් නිල් කැලුමෙව් බැරම
සඳ යුරු සඳ වෙලෙන් රැඳි රුසිරු    මනරම
වඳනෙහි තෝ දාගැප් මහ බෝ    පිළිම


කැලණි නදී වැනුම්

සල් සපු කීණ දොඹ රෑරඟ නා    මිදෙලි
පුල් එරහැඳි හෝ පලු මීඅඹ    පළොලි
පොල් පුවකිගු රඹ මලබුලත    සලිමලි
නිල් ගන සා සෙවණලු දෙතෙරැ    මනකලි

ගවසා සුපුල් කඩුපුල් මල් නිල්    වරල
සලසා උකුළු වට රසුදුළ මිණි    මෙවුල
සකසා දෙතන හර සඳුනෙන් කැරැ සිහිල
දෙපසා ඉසින නිල් පැහැ නෙතැ දිගු පුළුල

මනහර නා මණෙවියනිඳ ළවැලි    පිට
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට


සැඳෑ වැනුම්

සපුමල් යොහොඹු ලා බැඳ වරල    මනරඟ
පැහැදුල් දොඹ කැකුළු හර කර ලා    තනග
රොනවුල් නා කුසුම් කන ලා කොඬොල්    රඟ
දහවල් උයන් කෙළි කෙළැ සළෙලුන්    සමග

නුවනින් නිල් උපුල් මඳහසිනි    හෙළැඹුල
වුවනින් කමල් පෑ ලවනතිනි    රතුපුල
පවනින් අඹළ රන ලිය වන් ලියන්    කැල
රුවනින් ලකළ ගඟ දිය කෙළැ නිමුණු    කල

වදිමින් සවස නල හැසිරෙන    දිගතුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබ තුර    විපුල
පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන    කල
විලිකුන් සුරත් පල වැනි වේ රිවි    මඬල

මහතුන් හසළ තම හට යස පිහිට    ලෙස
නිසැකින් නො හළ යුතු බව පැමිණෙත වෙහෙස
සුදනන් පැවති සිරිතැයි දන්වන    විලස
නුබමින් සමඟ ගෙවෙනුය දවහල් දවස

සැදෑ ළෙන් වරුණ දෙව් රද මුහුද විසූ විසූ
සදෑ සහසකර එන මහවත    සැලසූ
විඳෑ උපුල් පිළ මෙන් රත් පටින්    වැසූ
සැඳෑ වලා පෙළ පැළ දිග පෙනුණු පසු

උදුළ සොමි කැලුම් නිසයුරු හිමි    පුවළ
පහළ වන බැවින් තම වෙත නිසඹු දොළ
ලකළ ගුවන තල සිරි යහන    නිකසළ
අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැළ

දනගෙන වුත් දමන ගොදුරට    නොහැකිළිය
පැනපැන දියෙන් ඔවුනොවුනැඟෙහි    පෙරැළිය
ලෙහෙලුන කෙළින කැරැ පෙණ පිඬු රළ    රැළිය
එතැනින පියාසර කැරැ දකු    මස්කෙළිය


කැලණි පුර වැනුම්

පැහැසරණිය මිණි පැමිණිය කොත්අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන්    වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය    පුරවරට

දියකඳ ගැඹර පිරි පුවතර මහ    සයුර
මුවරද ලෙසින් වත අගතිසි කර    තඹර
මනනඳ කරන මිණි ගණ මෙන් දිසි එවර
පැහැනද පහන් එහි මහ වෙයැ බල මිතුර

උදයග පියුම්රා පැහැ වැද මෙන්    රැඳුණු
පෙරදිග පෙනෙන සඳ සඳ කැල්මෙන් දිලුණු
මනරඟ එපුර සඳ කත ගෙහඹින්    ගැලුණු
සුරගඟ පතිනි දම් රැකුමෙහි ම    නියැලුණු

සුනිල් වලා නව සඳ නිලුපුල්    පබළු
විමල් සක් ගිජිඳු කුඹු සිරිවස    බැබළු
විපුල් පුලින රඹ සිකි ගල මුතු ළ    දළු
ළකල් රන ලියන් සරනා බල    යහළු

ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා කල
සඳ සක් ම‍ඳොසිනැද දෙත දුණු කැන් දුහුල
සොඳ පුරඟන පහ සුමුගින් පැහැ    උදුල
සෙද දුනඹර මතු ඇය රැස් මිණි    මෙවුල

තවර කරැ කොකුම් සඳුනෙන් තුනුසියල
පවර සුවඳ මල් දම් පැළඳ මනකල
බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළි ලොල
එපුර ඉඳිති සඳපානේසඳලුවල

පින්කම් වැනුම්

මුවලඹ රඹ වලු බර රන් තැඹිලි    තුරු
සැදි ගෙඋයන් ගෙවමින් වේ මඟ    අතුරු
කරකැවෙමින් දකුණට අවුදින්    මිතුරු
වදු වෙහෙරට සිහි කැරැ නව ගුණ    මිතුරු

දියතෙක් පැතිර සිටි බුදුගුණ කියා හැම
සගමොක් ලබනු වස් පිය යුග ඔබා බිම
සියසක් පුරා දුටු මෙන් තුටුවැ මුනිතුම
වඳු ලක් තිලක ගෙහි වැඩ උන් මහ පිළිම

පෙර දලනිඳු දිය කඳ රට බිම්    ගලත
සුරකුල හිමි රකිනුව ලක මැවූ    සත
මනකල ඒ සමුදුර පැහැයෙන්    දිමුත
වඳු සල පිළිම හිමි සිරි සරණ    සියපත

ගිලිය නොදී සැට මහණන් බව    මහණ
මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ    බණ
දිලිය පස් මහල් පායෙහි මිණි    කිරණ
බැලිය හැකි වි නම් දැක වැඳ යා    කලණ

පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු    සලත
නැගි පැහැදා පෙණ සමුදා සැටි    නුමුත
මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු    බිත
සැදි වටදා ගෙහි වඳු දා ගැබ    දිමුත

දිගු නෙත් නිලුපුලෙව් රතදර පබළ රඟ
සිරිමත් සුපුන් සඳ වැනි වුවන මන රඟ මනරඟ
පැහැපත් ලකළ රන්වන් විලසින්    ලොවග
වැදහොත් පිළිම හිමි වඳු පාය පැළ දිග

අහසින් අවුත් මිණිඅක් නයිඳු    යැදුමට
රහතන් මැදෙහි මුනි හිඳ මිණි පලඟ    පිට
දහමුත් දෙසූ තැන කළ සැට රියන්    කොට
මහ දා ගැප් හිමින් වඳු සොළොස තැන්    සිට

සවන සතිය වැසි වසිනා දස    දිගෙහි
පෙණින සෙවෙනි මුදලිඳු නා දරණ    ගෙහි
සවන හිඳිනු දනනඳනා නෙතු    යුගෙහි
වඳින මැනවි පිළිමය නා පිළිම    ගෙහි

සසරින් මුදා ලෙවි සදහම්    අමා දී
එකඟින් මුනිඳු හුන් වැනි    නිපරමාදී
ලකුණෙන් සපිරි පිළිමය දැක    සමාදී
වැඳගන් මිතුර තුන් සිත කැරැ    සමාදී

අප මුනිඳූ බුදු වන දින මුරුන්    පිදු
පැහැ විහිදූ දිලි කල දෝ යටින්    යෙදූ
සැදි සිනිදූ ඉඳුනිල් මිණි සතෙක    බඳූ
වැඳ දුමිඳූ වන පින් පල ත අත්    බඳූ

විටංක පැකිලිඳු දකුණස    දොරටුයෙන
නිසංකයෙන් පුද නන් තුරු    ගොසසමින
කලංක නොව කළ සුබ ලකුණු    බබළන
තිවංක නම් දෙපිළිම නැමඳ    බැසගන

සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සො‍ඬෙක    සැටි
සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො    ගැටි
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ    සිටි
තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ    පිටි


නිරිඳුන් කැලණිතිස් නිවැරදි රහත් තැන
සැකයෙන් ලැවූ හුණු තෙල් සැළ තුබූ තැන
බැතියෙන් පිනැතියන් කළ විසිතුරු විමන
වැඩහුන් පිළිම හිමි නමඳින්    යහදසන


දෙව් මැඳුරු වැනුම්

පිරිසිඳ නොහැකි මෙවැඳුම් පුද පින් පඬුරු
මෙනබැඳ රැගෙන දෙන ලෙස දැක එ සුර විරු
සුරරද පාය වන් විජයොත් නම්    මහරු
එමසඳ වඩන රජ ගෙට මිතුර    වැඩකරු

පුලා සුවඳ මලවුල් කැරැ වරල්    බැඳ
දුලා රන් පතින් සරසා සවන්    සොඳ
නිලා දිගු නුවන් රසඳුන් තනා    ඇඳ
බලා සිටු රඟන රඟ මඬල    කල්බඳ

විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ    රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම්    දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත    යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය    සැදී

ලකළ පුළුලුකුළ බඳ මිණි    මෙවුල්ලා
සමග රන් සලඹ රැවු දී    වෙවුල්ලා
වයන පදට තබමින් පද    කමල්ලා
රඟන ළඳුන් බල රූසිරු    සියල්ලා

වස් දඬු බිඟු කොවුල් වීණා නද    මියුරු
රැස් වූ සෙයින් සත් සර රස ගී    සොඳුරු
අස්වන ලියන් දැක ලිය කිඳුරඟන යුරු
තොස් කර තසිත සවනත නුවනත මිතුරු

විබිසණ දෙව් වැනුම්

මෙසේ පැවති අනතුරු ගී රැඟුම්    පුද
තොසේ සිතින් වැඩ සිටි සුර විමන්    මැද
යසේ පතළ දිය තුළ උතුළ මන    නඳ
ඇසේ පුරා දකු විබිසණ සුරිඳු    සඳ

පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන්    වෙත
රෙහෙණ නකත් ගැල සිරි විලසින් දිමුත    දිමුත
සරණ මුළු ලොව‍ට එසුරිඳු සිරස    පත
කලණ කිරුළ දිසි මුතු ලැල් රුවන්    යුත

සුනිලේ පැහැය හැර සුදු වනු ය ගන    වෙලේ
විදුලේ එයින් වියොවට පැමිණ    වියවුලේ
නිසලේ එ මේ සිරි ගත් සුරිඳුනැම    කලේ
උදුලේ දො හෝ රන් පට මෙන් නළල්    තෙලේ?

රුවිනේ උතුම් එසුරිඳු මිණි ඊල    මෙනේ
සවනේ රැඳුණු රසුදුළ තෝඩු ගන    රනේ
වුවනේ වැජඹි සිරි සරසවිය හැම    දිනේ
සොබනේ කනා කැටපත් යුවළ    විලසිනේ


නමකළ සත හැලේ සිහිලේ සැප    සිලිලී
බිය සෙණ රුපු කැලේ තුමුලේ දෙන    නො කලී
නළලත ගිරි තෙලේ සුනිලේ    රැසිනිපිලී
සුරරද දෙබැමලේ ගනලේ සිරි    කියලී

සතුරු සුර අඳුරු එක පැහැර දුරු    කළ
මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු    කළ
අතුරු තුසර සිඳුවන දැකුමෙන්    පහළ
ළහිරු සිරින් දිලිහිණි හිමි නෙත්    සඟල

යසගාන කළ තැන තැන සිදඟනන්    සැදී
නොළඟා එ හිමි දිගු තුඟු නැහැයට    වොරැඳී
සමඟා රදුන් දෙවියන් සෙවුමින්    නිසැදී
මුරගා අහෝ මිණි කාලම වෙහෙස    විඳී

සිරිසර හිඟුල් විලැ සේ හස වැළෙව්    ගන
සුරවර සලෙළ රත ලවනත දළ    දුලන
මනහර සඳ වලා පෙළ කෙළවර    පෙනෙන
පැහැසර ළ සඳ යුවළක් ඇත්නම්    එමෙන

කනා මිණි වළලු නැඟි රැස් මල්    කැනැති
මනා දිගු ඇඟිලි නව තඹ ළ පලු    ඇති
දනා කැමති දෙන පලඹත එ    සුරපති
දිනා දිමුතු අතු සිරි සුර තුරැ    පැවැති

පානා සෙනේ සසිනිඳු මඳලස    බැල්ම
ගානා නිමහමෙව් දෙවඟන නෙත්    කැල්ම
නානා සුරිඳු පුළුලුර සිරි සඳ    ඇල්ම
නූනා කෙළන ගලතල වැනි ඉඳු    නිල්ම

ලකුළු පුළුලුකුළු වට බිම එසුර    විරු
වෙරළු මිණි කැලුම් පතරින් මෙවුල’    තුරු
නැබුළු සොඳුරු සසිලිටු වටොර රඹ    තුරු
බැබළු සිසිල් ඉසිනා විලස සිරි    දැරු

වඳනා සුරන් කිරුළග රුවන    කැලුමෙනා
බඳනා කොමළ ලතු විලසළ රතින්    මනා
මඬනා බැවින් සියපත එ හිමි    පතුලෙනා
බියෙනා ළ තඹ හෝ පලු සදිසි    වෙවුලනා

වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු    පිවිතුරු
බැලුවන් ඇලුම් කරවන යළිදු    බියකරු
සිරිපින් රුවන් පිරි එ සුරිඳු සයුර    යුරු
මුවෙකින් කියා නිමවිය හැකිද    රූ සිරු?

ලෙව් හට තමන් නම කිව රිසි දෙන    විසිනි
දෙව් තුරු සුරබි සුරමිණි සරි ද    කෙලෙසිනි
පව් රෝ දුකුදු දුරලත පොකුරඹ    හසිනි
දෙව් වෙද ඇසෙන පමණෙකි වියතුන්    බසිනි


මන් පිනවන යස සිරි තෙද නැණ    විපුල
සෙන් යුද ජය රජ බව තනතුරු    සියල
දෙන්නෙන් පැතූ විට සුබ වැඩ දිගා    බල
පින් නම් සතුන් කළ දෙව් රජ ම ය    මෙකල

තුන් ලෝ තමා නතු කළ රවුළු    සොහොවුරු
තුන් කල් බලා රමිඳුට වූ ඉටු    මිතුරු
තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි    මිතුරු
තුන් විටෙක ම වඳු එ සුරිඳු පා    තඹුරු

අස්න

අනතුරු බලා අදහස අවසර    විගස
යුහුසුළු නො වී සලකා පසු පළමු    බස
පෙරදැරි කොට ම සුරිඳුට තියු වදන්    ගොස
සැළ කර ත ගිය කටයුතු සිට එකත්    පස

තරසර සුනෙර තද තෙද දිමුතු    දිවයුර
පුවතර ගැඹර සමුදුර කැලුම    නිලඹර
සොමිබර පවර නිසයුර නුවණ    සුරගුර
සුරවර දෙසැර විබිසණ නම් කැලණි    පුර

රජකුල සුපුල් විලැ රජ හස වන්    සරන
පෙර මලවියා වන් රුසිරෙන් මන    නඳන
හැම කල විපුල සව් සැපතින් නො අඩු    වන
තෙද බල විකුම් ගුණ මිණි බරණින්    තෙවුන

ගරුතර නන්නූරුතුනයා නමැති    මැති
සිහිකර නිතර මහ පුද පඬුරු දී    රුති
නොවිසිර ඔබට දන්වන ලෙස කී    සිතැති
සුරවර මඳක් කල් එපවත් ඇසිය    යුති

රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන්    මැද
පැහැදුල සරා කල් පත් සහසකර    බඳ
කිවි කැල ගලට මුතුහර වන් යස    පබඳ
සිරි කල කුල නිවෙස් දිය පතළ තද    තෙද

හළ දුසිරී දැන තෙවළා මුනිඳු    බණ
කෙල පත් සියලු අවි සිප් කව් නළු    සතණ
ඔළ මොළ රුපුන් දප මැඩ පෑ උපා    නැණ
කළ මුළු ලක්දිව එක් සේසත්    සෙවණ

සත නෙත දුන් රූසිරු රස    අඳුන්වන
පත නර ලොව පුරඳර සිරි    හඳුන්වන
විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන්    මුදුන්වන
අප පැරකුම් නිරිඳුට දූ    ළඳුන්වන

සිරිසඳ වන් සව් සිරි දියුණුවැ    රඳන
සිතුමිණ වන් යැදි යදි හට දනින්    දෙන
සරසවි වන් නුවණින් පහළ වැ    පෙනෙන
නවසඳ වන් ලෙව් වැසි අදරින්    වඳන


යෙහෙළින් කෙරේ සකි සැප සමග    සිත්මේ
කුලුණෙන් දැසි දසුන් වෙත වසින    වත්මේ
රකිමින් පතිනි දම් යහපත්    සිරිත්මේ
සිහිනෙන් නිපන් වන් දස පින්    පැවැත්මේ

මිහිරි තෙපල තන්වැසි කිවිකම්    පුරුදු
ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි    මුනිඳු
නොහැරි පෝය අටසිල් රැකුම    පිරිසිදු
සසිරි උලකුඩය දේවී හට    පසිඳු

දිත් රුපු කිරුළු මල් දම් සුවඳ මී    වැස
තෙත් සිරිපා යුත් සුරිඳුනි තිලෝ    ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ    යස
පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි    ලෙස

බිසොවට පළමු රත්නාවලි නම්    සොඳුරු
සහතුට දෙවූ හිමි දිවැසින් කුලුණු    පිරු
මෙලකට ඉසුරු වී පැරකුම් රජ    කුමරු
පළකොට කිමෙක ඔබ සොඳ තෙද බල    මහරු

එසෙයින් දෑ සමන් මහනෙල් කුසුම්    ගෙන
පුදමින් එසුරවර සිරි සරණ    වඳිමින
බුහුමන් කරන රජ දූ සඳුට මෙ    කියන
දුනපින් සමග යස සිරි වඩි පුත්    රුවන

මෙහසුන් සුරිඳු හට සැළ කැරැ මෙසේ    යා
වඳිමින් බැතින් පැදකුණු කොට තොසේ    යා
දකිමින් බිසෝ දෙවියන් නොව ලසේ    යා‍
කියමින් යදින් සකි සඳ මෙ ම ලෙසේ    යා

පැහැපත් පුන් ස‍ඳෙව් කිරි සමුදුරැ    පළට
සියගොත් බබුළුවන දෙව් රජ කුමර    හට
නැවතත් එකලාව අවසර ලැබුණු    විට
මෙපවත් කියව සැළ කරනුව සුර    රදුට

මේ සියලුම අදහස කුලුණෙන්    ගිහිණි
සේ සිය පත සලසා උදය    දිනමිණි
නෑ සිය ඉටු මිතුරු සමගින්    සැළලිහිණි
වා සිය පවතු සිතු ලෙස සැපතින්    පැමිණි

පුරාණ සන්නයේ අගට යෙදුණු කවි

පැරකුම් රජුට පන්තිස් වනු නවම්    මස
මනරම් කැරැ බඳුතු මෙහසුන් නො වී    ලස
අයදුම් ලෙසට සිදුකැරැ කිවිඳු    අදහස
දෙව්රම් මිතුරු දුන් ගැබ බිසොවට    සකස

සතිස් වනු නවමැ පුර අස්ලිස    නකත
පහස් ලැබ සුපුන් සඳ නුබ තුරැ    පැනෙත
සහස්කර කුලට වැඩ වන ලෙස    සතත
වෙසෙස් රජ කුමරු විලසින් දැකුම්    පත

කඳවුරු කුලමැඳුරැ මිණි පහනෙව්    සුසැදි
නැණ ගුරු සබස සමය ද දැනුමෙහි    වොරැඳි
රජගුරු විජයබා පිරුවන් හිමි    පැහැදි
මෙමියුරු පදැති සැළලිහිණිය අස්න    යෙදි

සැලලිහිණිය නිමි..................................................................................................
http://www.lakehouse.lk/budusarana/2012/08/24/tmp.asp?ID=temp01
UNICODE



තොටගමුව විහාරය, නැතිනම් තෙල්වත්තේ පුරාණ රජ මහා විහාරය, එසේත් නොමැතිනම් තෙල්වත්ත පුරාණ තොටගමු රජ මහා විහාරය නොහොත් තොටගමු රත් පත් රජ මහා විහාරය යන නාමයන්ගෙන් හඳුන්වන මෙම ඓතිහාසික විහාරස්ථානය පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයට ආසන්න වෙරළාසන්නයේ තෙල්වත්ත ග්‍රාමයේ මඳක් උස් බිමක ය.
අපගේ ජාතික, ආගමික උරුමයේ සුවිශේෂී ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකි මෙම තොටගමු විහාරස්ථානය පිළිබඳව එහි ඇති වටිනාකම තරමටම අප අවධානය යොමු කර තිබෙන්නේ දැයි ප්‍රශ්නයක් පැණ නගී. රත් පත් විහාරය වශයෙන් මෙය හඳුන්වන්නේ පුරාතනයේ මෙහි රහතන් වහන්සේලා වැඩ සිටි නිසායැයි කියැවෙයි.
තොටගමුවේ ශ්‍රී රාහුල යන නාමය බෞද්ධයන් අතර මෙන්ම සාහිත්‍ය ලෝකයේ ද පුද්ගල නාමයන් අතර අපූර්වත්වයෙන් සුසැදී මහායෝධ ප්‍රතිරූපයක් මවන සදානුස්මරණීය චරිතයක් ගොඩනංවා ඇත. තොටගමු විහාරය විශේෂයෙන් විශේෂත්වයට පත්වන්නේ එම අසහාය නාමය සමඟ සැදී ඇඳී රැඳී පවතින නිසා ය.
ශශ්‍රී රාහුල මා හිමියන් හඳුන්වනු ලබන්නේ සිංහල මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර, රාජගුරු, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සිරිසඟබෝ ශ්‍රී විජයබාහු පරිවෙණාධිපති, තොටගමුවේ වාචිස්සර ශ්‍රී රාහුල සංඝරාජ මහා ස්වාමීන් වහන්සේ වශයෙනි. උන්වහන්සේ සිංහල සාහිත්‍ය එකළු කළ නීල මාණික්‍යයකි. ජන ශුතිය අපූර්වත්වයට පත් කළ විචිත්‍රවත් චරිත කාව්‍යයකි. බහුශ්‍රැතභාවයේ විශාරදත්වයේ රන් පහනකි. ජනකතා සාහිත්‍යයේ සක්විති නාමයකි.
තොටගමුවේ ශ්‍රී රාහුල ජීවන ප්‍රවෘත්තියේ චරිතාංග කතාවේ විශිෂ්ටත්වය, අපූර්වත්වය සහ සාඩම්බරය කොතරම්දැයි කිවහොත් උන්වහන්සේගේ දේහය ‘ගෝවේ’ ‘බොම් ජේසු දේවස්ථානයේ’ ඉතා ගෞරවනීය ලෙස රන් සිවි ගෙයක් තුළ තැන්පත් කර තිබේ. අදටත් දේහයේ හිසකෙස් රැවුල් නිය වැවෙන බව කටකතාවට හෝ කියැවෙයි. රාහුල මාහිමියන් අපවත් වීමට පෙරාතුව දේහය දින දස ලක්‍ෂයක් කල් නොදිරා පවතින්නට ‘සිද්ධාලෝකරසය’ නම් ඖෂධයක් වැළඳුවේ යැයි ද මතක ශක්තිය වෙනුවෙන් අශ්ව කෙන්දක දැවටෙන ප්‍රමාණයේ තෙල් කඳුලක් වෙනුවට තෙල් බෝතලයක්ම එක හුස්මට බීමේ ආදීනවය වෙනුවෙන් නොමැරී බේරුණු බවත් ඒ නිසාම උන්වහන්සේට අසාමාන්‍ය ස්මරණ ශක්තියක් ඇති වූ බවද ජනශ්‍රතියේ පවතියි.
උන්වහන්සේගේ උපත සහ විපත පිළිබඳව නිශ්චය කර ගැනීමට නොහැකි තරමක ගැටලුකාරී තත්ත්වයක් පැණ නැගුණද රාජකීය පණ්ඩිත ශාස්ත්‍ර විශාරද ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර ස්ථවිරයාණන් වහන්සේගේ ‘සිරි රහල් මා හිමි’ නම් ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේ ය.
‘සිරි රහල් හිමියන්ගේ උපත දෙවන වීරබාහු රජුගේ (1391 – 1408 ) අන්තිම වර්ෂය හෝ හයවන විජයබාහු (1396 – 1409 ) නමින් රජ පැමිණි වීර අලකේශ්වර ගේ ආසන්න වර්ෂය ලෙස සැලකිය හැකි ය. මේ වකවානුව ඉතිහාසයේ තරමක් අපැහැදිලි වූවෙකි. එහිම සඳහන් වන පරිදි සිරි රහල් හිමියන් විසූ කාලය ජයවර්ධනපුර කෝට්ටේ සමයයි. සාමාන්‍යයෙන් සලකතොත් එහි එතරම් වරදක් නැත. එහෙත් උන්වහන්සේ 1408 දී උපන් බවට ගණන් බැලූ බැවින් අපවත්වුණු අවුරුද්ද සොයාගත හැකිනම් එය වටනේ ය. ඒ පිළිබඳව ලැබෙන තොරතුරු ජනකවියකිනි සොයා ගත හැක්කේ. එවිට 1491 ට ගැනේ. ඒ අනුව සිරි රහල් හිමියන් අවුරුදු 83 ක් ආයු වින්දනය කළහැකි සිතිය හැකි ය. මේ අනුව අනුමාන වශයෙන් සිතිය හැක්කේ මා හිමියන් උපන්නේ 1408 වසරේදී බවත් අපවත් වූයේ 1491 වසරේදී විය හැකි බවත් ය.’
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් භාෂා හයක් දැන සිටි බව කියැවෙයි. ෂඩ්භාෂා පරමේශ්වර යැයි හඳුන්වන්නේ ඒ නිසාය. උන්වහන්සේ ලියා ඇති පරෙවි සන්දේශය, සැළලිහිණි සන්දේශය, කෝකිල සන්දේශය, ගිරා සන්දේශය, මානාවලු සන්දේශය සහ කාව්‍යශේඛරය වසර පන්සිය ගණනක් ඉක්ම ඇතත් මෙම ග්‍රන්ථයන් අදටත් ජීවමානය.
සිරි රහල් හිමියන් ලියූ කෘතීන් පිළිබඳව පුඤ්ඤසාර හිමියන්ගේ ‘සිරි රහල් වතේ’ සඳහන් වන්නේ මෙසේ ය.
‘සිරි රහල් හිමියන්ගේ කෘතීන් මෙපමණකැයි නො කියමු. ඒ සියල්ල හඳුනා ගැනීමට ලක්දිව පුරා ඇති පුස්කොළ පිටපත් පරීක්‍ෂා කළ යුතු ය. උන්වහන්සේගේ ග්‍රන්ථකරණය ආරම්භ කිරීමෙන් අඩ සිය වසකින් පමණ යුරෝපීය ජාතීන්ට රට විවෘත වූයෙන් ඔවුන්ගේ රටවලට ගෙන ගොස් ඒ ඒ තැන්වලට ගොඩ ගැසී ඇතැයි කියන පිටපත් ද සමීක්‍ෂණය කළ යුතු වෙයි. ඇතැම් විට මුල් පිටපත් ද ‘තෝමේ ද සොසා’ (1588) වැනි සිංහල, බෞද්ධ සංස්කෘතිය පොළවට මට්ටම් වන තරමට ගිනි ලැවු විජාතික සතුරන් අතින් පවා විනාශ වන්නට ඇත.’
ශ්‍රී රාහුල මා හිමියන් වැඩි කලක් වැඩ සිටියේ අප අද හඳුනාගන්නා තොටගමු විහාරස්ථානයේය. මෙය දුරාතීත වංශ කතාව ස්මරණය කිරීමට අවැසි ප්‍රබල ලකුණක් තැබූ ඓතිහාසික ස්ථානයකි. ජනප්‍රවාදයට අනුව තොටගමු විහාරය මුලින්ම ගොඩනංවා ඇත්තේ ක්‍රි.පූ. යුගයේ දේවානම්පියතිස්ස රජතුමා ගේ සොයුරා වූ මහානාග යුවරජු විසින් යැයි කියැවෙයි. එහෙත් මෙම ස්ථානය පිළිබඳව ලිඛිත සාක්‍ෂි අපට හමුවන්නේ 8 – 10 සියවස් වලට අයත් ශිලා ලේඛනයන් මගිනි. භූමියේ ඇති නාථ දේවාලය වටා සිටවූ ශිලා ස්ථම්භ හත විහාරයේ පෞරාණිකත්වයට සාධක සපයයි.
පොළොන්නරුවේ පළවන විජයබාහු රජතුමා (1051 – 1106 ) මෙම විහාර භූමියේ සතළිස් පස්රියන් ප්‍රාසාදයක් කරවූ බව මහා වංශය සටහන් කරයි. විජයබා පිරිවෙන වූයේ මෙය බව ඉතිහාස කරුණු අනුව සනාථ වෙයි. ගලතුරුමුල මෛත්‍රිය මා හිමි සහ උත්තර මූල රාහුල මහතෙර ආදී බහුශ්‍රැත පඬිවරු මෙහි අධිපතිත්වය දරා තිබේ.
මේ පිළිබඳ පොන්නම්බලම් අරුනාචලම් (1853 – 1924 ) 1916 දී කල්කටා විශ්වවිද්‍යාලයේ දී පෙරදිග මහා පඬුවන් අමතා කළ දේශනයෙහි සඳහන් වන්නේ යුරෝපීය විශ්වවිද්‍යාල බිහිවන්නේ දහ අටවන සියවසෙහි දී බවත් ඊට ප්‍රථමයෙන් පසළොස්වක සියවස වන විට ශ්‍රී රාහුල මා හිමියන්ගේ ආධිපතිත්වයෙන් විශ්වවිද්‍යාල තත්ත්වයේ මහා විද්‍යා පීඨයක් ශ්‍රී ලංකාවේ තොටගමුවෙහි පැවැති බවත් ය. තොටගමුවේ ශශ්‍රී රාහුල මහා නාහිමියන්ගේ විශාරය බහුශ්‍රැතභාවය නිසා මෙම පිරිවෙන විශ්ව කීර්තියට පත් විය.
දේවානම්පියතිස්ස ඉතිහාස පරිච්ඡේදයෙන් පසුව කැලණි තිස්ස රජ දවස (ක්‍රි.පු. 235 – 207 ) සිදු වූ මහා මුහුදු කෑමේ විපතින් රට මුදවා ගැනීමට දිසා පිළිමයක් පිහිටුවන ලද්දේ මෙහි බව ‘සිරි රහල් වත’ ග්‍රන්ථයේ සඳහන් වෙයි. එදා ලාංකේය බිම ආක්‍රමණය කළේ අද අප හඳුනන ‘සුනාමියක්ම’ බව හඳුනාගත හැක.
මෑත දී ලංකා මායිම රුදුරු ලෙස ආක්‍රමණය කළ සුනාමියෙන් ඉතා දරුණු ව්‍යසනයකට පත් වූ ප්‍රදේශයක් වූයේ මෙම තොටගමු රජ මහා විහාරය අයත් තෙල්වත්ත ග්‍රාමය ය. මෙදා මෙම ප්‍රදේශයේ බහුතර ගම්වැසියන්ට අභය දානය ප්‍රදානය කිරීමට මහා ආශීර්වාදයක් වූයේ ද මෙම අසිරිමත් වාසනාවන්ත පුද බිමය. එය ඔවුනට දෛවය දායාද කළ මහා භාග්‍යයකි.
ස්වාභාවික ව්‍යසනයේ කුරිරු රළපහරට පෙරළදැමීමට එදත් අදත් නොහැකි වූ මෙම ඓතිහාසික විහාරස්ථානය 1588 දී අධම පෘතුගීසි ආක්‍රමණිකයන්ගේ නපුරු අතින් සහමුලින්ම විනාශ විය. ඊට ශතවර්ෂ දෙකකට පමණ පසුව වසර 1780 දී පමණ නැවත පණ ලද මෙම ඉතිහාසගත පුදබිම විවිධ ප්‍රතිසංස්කරණයන්ට ඉඩ හසර විවර කරමින් වත්මන් පෙනුම දරාගෙන සිටියි. 1780 දී චෛත්‍ය ප්‍රතිසංස්කරණය වෙයි. 1779 දී පමණ ගොඩනැඟෙන නව විහාර ගෘහය තුළ මහනුවර යුගයේ හැඩ තල නිරූපණය කෙරෙයි. ලංකාවේ වෙනත් තැනක දැකිය නොහැකි දැවැන්ත අනංග ප්‍රතිමාව නාථ හා විශ්ණු ප්‍රතිමා ද මෙහිදි හමුවෙයි. තොටගමු තෙල්වත්ත පුරාණ විහාරයේ පැරැණි විහාර ගෘහය, 1805 දී ඉදි කළ නව විහාර මන්දිරය, නාථ දේවාලය, ශිලා ලේඛන සහිත ස්ථම්භ හතර, විෂ්ණු දේවාලය, ස්තූපය, ධර්ම ශාලාව, පොහොය ගෘහය, ඝන්ඨාර කුලුන, පැරැණි ආවාස ගෘහ දෙක පුරාවිද්‍යා ස්මාරක ලෙස අද ප්‍රකාශයට පත් කර තිබේ.
එදා කැලණි මහා ඛේදවාචකයෙන් මුහුද ගොඩ ගැලූ කළ මෙරටට සෙත උදා කිරීමට දිසා පිළිම රුවක් සක්දෙවිඳුන් මැවූ බව සඳහන් වන්නේ කෝකිල සන්දේශයේය.

කිපියෙන් සුරන් සිත්
සිඳු එතැ වෙරළ මැඩගෙන
සා මෙලක සෙත ඒ මුහුද පැහැ මැවූ
දිසා පිළිම රුව දැක සක් දෙවිඳු මැවූ

සක් දෙවිඳුන් රටට සෙත් පතා මහා බුදු පිළිමයක් මැවූවාසේ අසහාය වූද අසාමාන්‍ය වූද තොටගමුවේ ශ්‍රී රාහුල මහා යෝධ චරිතකාය මැවුවේ සක්දෙවිඳුමදැයි සිතෙන තරමට තොටගමුවේ ශ්‍රී රාහුලශ්‍රී නාමය ආශ්චර්යවත්ය. විහාර මන්දිරයේ යෝධ ප්‍රතිමා අතර මේ යෝධ චරිතකාය අදත් ප්‍රතාපවත් ලෙස නැඟී සිටින සෙයකි. ඉතින් මේ ඉතිහාසය සිත්හි දරා ගනිමින් තොටගමුව රජ මහා විහාරය වෙතට පිවිසෙන්නේනම් සිතට දැනෙනා අමුතු සුවය ඔබටත් දැනෙනු නියතය.
http://www.silumina.lk/punkalasa/20100214/default.asp
 

සැළලිහිණි සන්දේශය


ද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වූ ද එයිනුදු සන්දේශ කාව්‍යකරණයේ ක්ෂේම භූමිය වූ ද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමයේ රචනා වූ උසස්තම සන්දේශ කාව්‍යය පමණක් නො ව සිංහල සන්දේශ කාව්‍යාවලියේ අග්‍රගණ්‍ය නිර්මාණය සේ ද ගැනෙන්නේ සැළලිහිණි සන්දේශය යි. ග්‍රන්ථ නාමයෙන් ම කියැවෙන පරිදි සැළලිහිණි පක්ෂියා මේ සන්දේශයට උපයෝගී කොට ගත් දූතයා විය.
මේ සන්දේශය ලියැවුණු වර්ෂය ගැන ග්‍රන්ථාවසාන කවිවල පැහැදිලි ව කියැවෙන්නේ ‘පැරකුම් රජුට පන්තිස් වනු නවම් මස, මනරම් කර බඳුකු මෙහසුන් නො වී ලස” යනුවෙනි. මේ වර්ෂය ශ්‍රී පරාක්‍රමබාහු මහරජුගේ රාජ්‍යෝදයෙන් තිස්පස් වැන්න වී නම් මේ වන විට රජතුමා වයස අවුරුදු පනස්පහට ආසන්න ව සිටියා විය යුතු ය.
මෙහි කතුවරයාණන් ගැන පැවැසෙන්නේ ‘කඳවුරු කුල මැඳුරු මිණි පහනෙව් සුසැදී ... රජගුරු විජයබා පිරුවන් හිමි පැහැදි’ යනුවෙනි. කෝට්ටේ යුගයේ සුප්‍රකට ව පැවැති තොටගමුවේ විජයබා පිරිවෙන්හි අධිපති ව වැඩ විසූ කඳවුරු කුල හිමිපාණෝ යනු ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ ය. උන් වහන්සේ මේ වන විට පිරිවෙන්පති පදවියේ මෙන් ම රාජගුරු පදවියේ ද සිටි බැව් මෙයින් අනාවරණය වන හෙයින් මෙය උන්වහන්සේ දැනුමෙන් ද වයසින් ද මුහුකුරා ගොස් සිටි අවධිය බව පැහැදිලි ය.
ශ්‍රී පරාක්‍රමබාහු මහරජුගේ බාල දියණිය වූත් නන්නුරුතුනයා මැති නම් වූ රාජ්‍ය නිලධාරියාගේ දේවිය වූත් උලකුඩය කුමරියට පුත් රුවණක් ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවිඳුන්ගෙන් අයැද සිටීම සැළලිහිණි සන්දේශයේ පරමාර්ථය යි. මෙයට පෙර ශ්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලද්දේ රජුගේ වැඩිමහල් දියණිය වූ චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියෙකු සහ පුත්‍රයෙකු ලබා දෙනු පිණිස දෙවියන් යැදීම උදෙසා ය. මේ සන්දේශ දෙකේ අභිප්‍රායයන් හා කාල වකවානු ගැන සලකා බලද්දී මේ දූ කුමරියන් දෙදෙනා අතර සැලකිය යුතු වයස් පරතරයක් තිබූ බැව් සිතිය හැකි ය.
සැළලිහිණිය කවි 108කින් සමන්විත ය. කතුවරයාණන් විසින් පසු ව එකතු කරන ලද මෙහි අගට එන කවි තුන ද සමඟ මුළු කවි ගණන 111ක් යැයි ගත හැකි ය. ඒ අනුව සැළලිහිණිය අනෙකුත් සිංහල සංදේශ කාව්‍ය අතුරෙහි ප්‍රමාණයෙන් කුඩා සංදේශය වේ. ආරම්භයේ ‘සැරද සුලකල කුරු...’ යනුවෙන් ගී විරිතෙන් එන ආසිරි පද්‍යයත් ඉන්පසු ව පැවැසෙන දසපද සැහැල්ලත් හැරුණු විට අනෙක් කව් සියල්ල ම සමුද්‍රඝෝෂ විරිතෙන් ප්‍රබන්ධය වී තිබේ. අග එළිවැට ලෙසින් ම මුල එළිවැටක් ද රැකීම නිරන්තර ව සිදු කොට ඇති අතර මුල එළිවැට රහිත කව් දෙක තුනක් පමණක් දැකිය හැකි ය.
සැළලිහිණි දූතයාගේ ගමන යෙදී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිට කැලණිය දක්වා ය. එබැවින් එය ඉතා ම කෙටි ගමන් මාර්ගයකි. සිංහල සන්දේශාවලියේ කෙටි ම මඟක් ගෙවා රැගෙන යන සන්දේශය සැළලිහිණිය යි. මේ දූතයා අතරමඟ දී නතර වනුයේ ද එක් රාත්‍රී කාලයක් පමණි. එසේ සිදුවන්නේ ද ගමන සවස් භාගයක ආරම්භ කරන බැවිනි. ‘සඳේ මුදුන් වන අස්විද නැකත සිට.. යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට’ යැයි කියැවෙන පරිදි සන්ධ්‍යා භාගයේ මේ සඳහා සුදුසු නැකතක් ද යොදාගෙන ඇති බැව් පෙනේ. එපමණක් නො ව ‘බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩි’ යන්නෙන් සුබා සුබ නිමිති පිළිබඳ විශ්වාසය ද මෙහි දී තහවුරු කෙරේ. එසේ වුව ද ඒ ආරම්භයත් සමඟ ‘වඳු දළදා හිමි තෙමහල් පහයැ රැඳී’ යනුවෙන් මහත් භක්තියෙන් යුක්ත ව බුද්ධ වන්දනයෙහි යෙදේ.
ජයවර්ධනපුර අග නගරය වර්ණනා කිරීම උදෙසා කවි හත අටක් ම වැය කරන කතුවරයා රාජවර්ණනය කවි එක දෙකකින් ම සම්පූර්ණ කරනු දැකිය හැකි ය. අනෙකුත් සන්දේශවල රජු වෙනුවෙන් කවි ගණනාවක් ප්‍රශස්ති ලීලාවෙන් රචනා වී ඇතත් ඒ කාර්යය ඉතා කෙටියෙන් වුවත් නො මඳ ව ඉටු කිරීමට සමත් වන කතුවරයා වහා සිය ප්‍රස්තුතය කරා එළඹේ. ඒ, දූතයා එසැණින් ම ගමන්මඟට යොමු කරමිනි. කොන්තගංතොට පසු කරන දූතයා ඒ රෑ ඉසුරු කෝවිලේ ලැග පසුදා අලුයම ගමන් අරඹද්දී ඔහුට පෙනෙන දෑ සඳහන් කරමින් තත්කාලීන ව අතිශයින් වැදගත් වූ ඓතිහාසික පුවතක් ද සනිටුහන් කිරීමට කතුවරයාණෝ අමතක නොකරති.
සැළලිහිණියාගේ ඉදිරි ගමන්මඟට කයිකාවල, වල්අම්බලම, සුමුටාන, ගුරුබැවුල, ගුරුළුකෙත, වෙළෙඳගොඩ, කිත්සිරිමෙවන් වෙහෙර, කැලණි ගඟ, මස්කෙළිය, කැලණිය යන ස්ථාන පිළිවෙළින් අයත් වේ. කැලණි ගඟේ දී දියකෙළි වැනුමක් කිරීමට නො පෙලැඹී ඒ ගැන සැකැවින් පවසන කතුවරයා නො පමා ව ගමන් මඟට පිවිසීම ද මෙහි විශේෂිත ව දැකිය හැකි ලක්ෂණයකි. ඒ වන විට කෘතියේ හරි අඩක් එකී සියලු දෑ සඳහා යොදවා ඇති කතුවරයා ඉතිරි අඩ සිය ප්‍රස්තුත කාර්යය උදෙසා ක්‍රමවත් විලාසයකින් මෙහෙයවනු දකින්නට පිළිවන.
කැලණිපුර සිරි නැරැඹීමෙන් අනතුරුව කැලණි විහාරයට පිවිස සිත්සේ වැඳ පුදා ගැනීමට කතුවරයා සැළලිහිණියාට අවස්ථාව සලසා දේ. එහි දී විහාරයෙහි පැවැති ලංකාතිලක මහා පිළිමය, සෙල් පිළිමය, වටදාගෙහි දාගැබ, වැදහොත් පිළිමය, මහදාගැබ, නා පිළිමගෙය, සමාධි පිළිමය, තිවංක දෙපිළිමය, සිවුරු දාගැබ, බෝධීන් වහන්සේ, පිළිම හිටි ආදී ස්ථාන වෙන වෙන ම වර්ණනා කරමින් දූතයා ලවා වන්දනා කරවනුයේ මහත් ශ්‍රද්ධා භක්තියක් දනවමිනි. මෙයින් වැදගත් තොරතුරු රාශියක් ප්‍රකට කරවන්නා සේ ම කතුවරයාණෝ භක්ති කාව්‍ය ස්වරූපයක් ද විද්‍යාමාන කරති.
විභීෂණ දේවාලය වර්ණනා කිරීමේ දී කතුවරයා නළඟන රැඟුමක් වෙත දූතයා යොමු කරවන නමුදු කවි හතරකට පමණක් සීමා වන එය වෙනත් නැටුම් වර්ණනයක දී මෙන් විරිත වෙනස් කරමින් කරන ප්‍රබන්ධයක් නො වේ. අඛණ්ඩ ව ආ සමුද්‍රඝෝෂ වෘත්තයෙන් ම ඒ කව් ද ලියැවී ඇති මුත් එයින් රංගන ස්වරූපය නො මඳ ව පළ කිරීමට කතුවරයාණන් සමත් වන අයුරු මෙසේ දැකිය හැකි ය.
 

’විදෙන ලෙළෙන නරුබර පුළුලුකුළ රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී
මෙසේ වූ පද ලාලිත්‍යය මේ කෘතිය පුරා ම දිවෙන සුන්දරත්වයට හේතු සාධක වේ. රළු මෙන් ම මෘදු අක්ෂර උචිත පරිදි යොදමින් අනුප්‍රාස ගුණයෙන් ද ශ්‍රැති ගෝචර භාවයෙන් ද මටසිලිටි පද බාවිතයෙන් ද රචිත සැළලිහිණි සන්දේශය කතු හිමියන්ගේ බහුශ්‍රැත දැනුමත් පිරිපුන් කවීත්වයත් මැනැවින් ප්‍රකට කරලයි. භාෂාව රිසි රිසි ලෙසින් අර්ථ හා ශබ්දාලංකාර මවනු පිණිස වහල් කොට ගන්නා අයුරු මේ ප්‍රබන්ධයෙහි දක්නට ලැබෙන විශේෂ ගුණයකි. කතුවරයා ෂඩ්භාෂා පරමේශ්වර පඬිවරයෙකු වූවත් සංස්කෘත සාහිත්‍යයේ උපමාලංකාර ආදියට ගැති නො වී නිදහස් පිළිවෙතක පිහිටා රචිත කවි බොහොමයක් මෙහි දැකිය හැකි වේ.
ඓතිහාසික වශයෙන් වැදගත් වූ තොරතුරු රාශියක් ද සැළලිහිණියෙන් අනාවරණය වනු දකින්නට පිළිවන. යාපාපටුන ජයගැනීම ගැන පමණක් නො ව ‘වඳු දළදා හිමි තෙමහල් පහයැ රැඳී, කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින, පෙනේ දකුණැ මහසෙන් දෙව්රද පාය, වල්අම්බලම දැක යාගන් සහතොසිනී, කළ මුළු ලක්දිව එක සේසත් සෙවණ, ආදී වශයෙන් වූ අගනා පුවත් මෙයින් හෙළිදරව් වේ. එකී තත්කාලීන තොරතුරු හැරුණු විට තවත් ඉපැරැණි විස්තර මෙහි පැවැසෙන අයුරු ‘මලියදෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ බණ, නිරිඳුන් කැලණියේ නිවරද රහත් තැන, තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු, ආදී වූ තැන්වලින් දැකිය හැකිය.
මේ සන්දේශයෙන් කළ අයැදුම පරිදි උලකුඩය දේවියට උපන් පුත් කුමරා ශ්‍රී පරාක්‍රමබාහු රජු ඇවෑමෙන් 1467 දී දෙවැනි ගජබාහු නමින් රජවිය.
අන්තර්ගත කව් ප්‍රමාණය අනුව කුඩා වූ ද ඉතා කෙටි ගමන් මාර්ගයකින් යුක්ත වූ ද සන්දේශ කාව්‍යය වූවත් සැළලිහිණිය යනු විවිධාකාරයෙන් විසල් වූ අනෙකුත් සියලු සන්දේශ කාව්‍ය අබිබවා ගුණාත්මක භාවයෙන් ද රසවත් භාවයෙන් ද ප්‍රමුඛත්වය ගන්නා සිංහල සන්දේශ අතුරෙහි විශිෂ්ටතම කෘතිය වේ.එසේ ඇගයෙන මේ නිර්මාණය ශ්‍රීී ජයවර්ධනපුර සමයටත් සිංහල සාහිත්‍යයටත් ආලෝකය දෙන විශේෂිත පුස්තකයකි.

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය