කොළඹ කවිය

කොළඹ කවිය පිළිබඳ විමසීමක්
සංවේදී රසික ජනතාවගේ ප්‍රියතම සාහිත්‍යාංගයක්‌ බවට පත් ව ඇති කොළඹ යුගයේ කවිය තනි පුද්ගලයෙකුගේ හෝ ගුරු කුලයක හෝ සංවිධානයක හෝ කාර්ය සාඵල්‍යයක්‌ නොවේ. සමස්‌තය තුළින් පෙනෙන්නේ එය සාමූහික නිර්මාණ ව්‍යාපාරයක ප්‍රතිඵලයක්‌ වගයි. සිංහල සාහිත්‍ය වංශ කථාවේ යුග නියාමය අනුව සංසන්දනය කර බලන විට කොළඹ කවි යුගයට අයත් වන්නේ සංඛ්‍යාත්මක ව අල්ප වර්ෂ ප්‍රමාණයකි. මේ වන විට අවුරුදු එකසිය පනහකට වඩා වැඩි නොවන එම කාල පරිච්ඡේදය සිංහල කාව්‍යයේ විවිධ ප්‍රවණතාවලට යොමු වෙමින් ප්‍රගතිය කරා ගමන් කරන සැටි දැකිය හැකි වන්නේය. සිංහල කවියේ සංවර්ධනය සඳහා ක්‍රම වේදයක්‌ සකස්‌ කර ගැනීමේ දී භාරතීය කාව්‍ය සිද්ධාන්තවලින් ආභාසය ලබා ගත් බව ඓතිහාසික සංසිද්ධියකි. සිංහල භාෂාවෙන් සම්පාදිත අලංකාර ග්‍රන්ථ හා ඡන්දස්‌ ග්‍රන්ථ මීට සාධක වශයෙන් ඉදිරිපත් කළ හැකිය. එහිදී පෙනෙන වැදගත් ලක්‌ෂණයක්‌ නම් භාරතීය කාව්‍යාලංකාර සිද්ධාන්තවලින් තෝරාගත් කොටසක්‌ පමණක්‌ මෙම ග්‍රන්ථවලින් උගන්වා ඇති බවයි. සමහර ඡන්දොaලංකාර මත බැහැර කිරීම වියතුන්ගේ අවධානය යොමු කරවන්නකි. දේශීය වූ ස්‌වාධීන කාව්‍ය සම්ප්‍රදායක්‌ හැඩ ගැසී ඇති සැටියෙන් පැහැදිලි වන්නේ එයින් සිංහල අනන්‍යතාව පසක්‌ කරවා ඇති බවය. සීගිරි කුරුටු ගී වලින් මෙම නිගමනය සනාථ වන්නේය. භරත මුනිවරයාගේ රස සිද්ධාන්තය ළඟට අලංකාර වාදය, වක්‍රෝක්‌තිය, ස්‌වභාවෝක්‌තිය, �වනිය, ව්‍යංග්‍යය ඖචිත්‍යය යනාදිය මුල්කර ගත් කාව්‍ය සිද්ධාන්ත සිංහල ලේඛකයන් විසින් ද අනුගමනය කරනු ලැබූ බව ප්‍රත්‍යක්‌ෂ සත්‍යයකි. වර්තමානය දක්‌වා වූ අවුරුදු දෙදහසකට වැඩි සිංහල කාව්‍ය සම්ප්‍රදාය පූර්වෝක්‌ත ලක්‍ෂණයෙන් අඛණ්‌ඩව බැඳී ඇත්තේය. කවර සම්ප්‍රදායකින් නමුත් අපේක්‍ෂා කරන්නේ උසස්‌ කාව්‍යයක්‌ නිර්මාණය කිරීමයි. රචකයා තුළ විද්‍යමාන වන දුර්ලභ කවි ශක්‌තිය එහි ප්‍රමිතියේ හා තත්ත්වයේ උස්‌ පහත්කම් නිර්ණය කරයි. සියලු ම යුගවල පහළ වූ සිංහල කවීන්ගේ හා කිවිඳියන්ගේ රචනා තුළ මෙම පොදු ලක්‌ෂණය දකින්නට ලැබේ. ප්‍රබන්ධයේ යථා තත්ත්වය විමසා බැලීමට හැකි වන්නේ බුද්ධිමත් රසිකයාට හා පාඨකයාට ය. සැබවින්ම රසිකයා භාවකයකු විචාරකයෙකු බවට පත් වන්නේ මෙහිදීය. සිංහල කවිය දිසි රටාවෙන් ද ඇසි රටාවෙන්ද පාඨක වින්දනයට අභිමුඛ වෙයි. දෘශ්‍ය රටාව ඇසට ගෝචර වන අතර ශ්‍රව්‍ය රටාව කනට ගෝචර වෙයි. දෙරටාවේම සංයෝගයෙන් රසාස්‌වාදනය තීව්‍ර කරයි. හද පහසවන භාවාත්මක වින්දනය පහළවන්නේ මේ න්‍යායෙනි. විවිධ අනුභූතීන් තුළින් මතුකෙරෙන නිර්මාණශීලී අපූර්ව සංකල්පයන් සම්භාව්‍ය සාහිත්‍යයක පදනම බවට පැමිණෙන්නේ මේ අනුවය. ප්‍රතිභාපූර්ණ චින්තකයන්ගේ ගැඹුරු සිතිවිලි අමරණීය කවි බවට පැමිණෙයි. පැරැණි සංස්‌කෘත සාහිත්‍ය විචාරකයන්ගේ එක්‌ සිද්ධාන්තයක්‌ වූයේ රසාත්මක වාක්‍යය කාව්‍යය බවයි. එහෙත් රසවත් වූ පමණින්ම වැකිය කවියක්‌ නොවෙයි. අපූර්ව සංකල්ප රූපය කවියේ ජීවය බවට පැමිණෙන අතර රස සපුව ලකර සපුව විරිත් සපුව ආදියෙන් එය පරිපෝෂණය විය යුතුය. සිංහල පද්‍යයේ දිස්‌ වන දෘශ්‍යගෝචක ආකෘතිය ශ්‍රව්‍ය ගෝචර ආකෘතියට සමීප සබඳකම් පවත්වයි. විරිත් ලක්‌ෂණ අනුව නිමවනු ලබන පබඳ ඇසට මෙන්ම සවනට ද ග්‍රහණය කර ගැනීම පහසුය. නයනේන්ද්‍රිය හා ශ්‍රවණේන්ද්‍රිය මොළයට යා කරන ස්‌නායු තන්තුන්ගේ සබඳතාව නිසා ස්‌මෘතියෙහි පහළ කරවන සංවේදී ගුණය පුබුදුවාලීමේ ජීව ශක්‌තිය ඇති කාව්‍යමය නිර්මාණ සෑම කලෙක ම සහෘදයන් පිනවීමට සමත් වෙයි. එය ශක්‌තීන් ගණනක සංකලනයෙන් පහළ කරවනු ලබන්නකි. කාව්‍යමය ශක්‌තියට විද්‍යාත්මක ශක්‌තිය එක්‌වන්නේ එබඳු තන්හි දීය. එය කාව්‍යමය ශක්‌තිය ද්‍රව්‍යමය ශක්‌තියෙන් වෙනස්‌ වේ. එය රස නිෂ්පාදනයෙහි පොහොසත් වන අතර ද්‍රව්‍යමය ශක්‌තිය රස වින්දනයේ සමත් වන්නේ උසස්‌ කාව්‍යයක යථා තත්ත්වය තුළිනි. ගැඹුරු වූ සියුම් වින්දනයක්‌ ලබා ගත හැකි වන්නේ සංවේදීතාව තීව්‍ර වූ තරමටය. මේ වූ කලී නිරන්තර අභ්‍යාසයෙන් ප්‍රගුණ කළ යුත්තකි. කෙනෙකුට රස විඳුමක්‌ ලබාදිය හැකි කවි ප්‍රබන්ධය තවත් කෙනෙකුට රස වින්දනයක්‌ ලබා දීමට අපොහොසත් වන්නේ මෙම ක්‍රියාවලියෙහි ම ප්‍රතිඵලයක්‌ වශයෙනි. විරිත එළිවැට පද්‍යයෙහි දෘශ්‍යගෝචර රටාවට මෙන්ම ශ්‍රව්‍යගෝචර රටාවට ද ලංකරණයක්‌ වන්නේය. පැරැණි පුස්‌කොළ පොත්වල ලියෑවුණු සිංහල පද්‍ය සංශෝධනය කොට වර්තමාන පාඨක සමාජයට හඳුන්වා දීමේදී විරිත සහ එළිවැට ග්‍රන්ථ සංශෝධකයනට පවා පහසුවක්‌ වේ යෑයි පැවසීම නිවැරැදිය. මුද්‍රණ මාධ්‍යය ප්‍රචලිත වීමත් සමඟ පද්‍යයෙහි ඇති දෘශ්‍යගෝචර ආකෘතිය වඩ වඩා ප්‍රකට වෙමින් පාඨක රුචිය රඳවා ගැනීමට සමත් විය. පුවත්පත් සඟරාවලින් ද මීට අනුබලයක්‌ ලැබිණ. විරිත මෙන්ම එළිසමය ද පැහැදිලිව පෙනෙන සේ අකුරු සංයෝජනය කරන්නට පටන් ගත් නිසා එය නෙත්වලට ප්‍රියංකර වූ අතර සවන්වලට ආකර්ෂණයක්‌ විය. සඳැස්‌ කවිවලින් මතුවන අතිරේක අලංකරණයකි. කොළඹ යුගයේ ආදීම අවස්‌ථාවෙහි බොහෝ කවීන් උගතුන්, වියතුන්, චින්තකයන් මෙන්ම විචාරකයන්ද කවියත් පැදියත් දෙක නොවෙනස්‌කොට සැලකූ බව පෙනේ. ඔවුහු බෙහෙවින්ම කවි නමින් පැදි සැලකූහ. ඔවුනට පැදි තනන්නෝ කවීහු වූහ. විවිධත්වය සාහිත්‍යයේ සංවර්ධනයට හේතුවන්නකි. නව මං සොයා නව ඉසවු දිගේ නව කෙත් බලා ගමන් නොගත් සාහිත්‍ය ධාරාව එක තැන රැඳෙන දිය දියත්තක්‌ සේ මිහිරෙන් පිරිහෙන්නේය. කවර තරම් දුබලකම් පැවතිය ද මාතර යුගය සිංහල පද්‍යයට විවිධත්වයක්‌ ගැන්වීමට මුල පිරූ බව පිළිගත යුතුය. එයින් පද්‍ය ක්‍ෂේත්‍රය පුළුල් වී යැමට කරුණු සැලසුණේය. එබැවින්ම එහි ප්‍රතිඵල ලබන්නේ වර්තමාන සිංහල පද්‍යයයි. එනම් කොළඹ කවියයි. ක්‍රමයෙන් වැඩුණු සිංහල කාව්‍යමය චින්තාවලිය අනුරාධපුර යුගයෙන් පොළොන්නරු යුගයට පැමිණ එවක විපුල් ඵල ගන්වමින් පෝෂණය වූයේය. බෝසත් සිරිත්, බුදුගුණ වැනුම් තුළින්ය. දිගින් දිගටම ප්‍රවර්ධනය වෙමින් පැමිණි මෙම ආකල්පය මාතර යුගයේදී වෙනත් විෂය ක්‌ෂේත්‍රයන් කරා පුළුල්වෙමින් පැතිර ගියේයත. මාතරින් කොළඹට සිංහල කවිය පැමිණියේ කලින් පැවැති විෂය ක්‌ෂේත්‍රය පුළුල් කරගෙනය. විසිවැනි සියවසේ මුල් දශකය පටන් ගැන්මේ පටන්ම සිංහල කවිය පිළිබඳව අමුතු උෙද්‍යාaගයක්‌ මතුවූයේය. කවියාගෙන් සිදුවිය යුතු කාර්යභාරය හා සමාජ මෙහෙවර පිළිබඳවව අලුත් පැතුම් උද්ගතවන්නට වූයේ යුග ප්‍රාර්ථනා ඉටුකිරීම අත්‍යවශ්‍ය අංගයක්‌ ලෙස සලකා ගෙනය. ජනතාව තුළ ජාතික ප්‍රබෝධය, අධ්‍යාත්මික සංවර්ධනය, නිදහස දිනා ගැනීම වැනි මුඛ්‍ය වශයෙන් ඔවුන් දුටු සිරස්‌තලය. ශාස්‌ත්‍රීය ආලෝකය මන්දගාමී ස්‌වභාවයකින් පැතිරුණු මෙම අවධිය වන විට ජාතියේ චින්තන ධාරාවත්, ජීවන රටාවත් වහල් බවට පමුණුවා තිබිණ. කවිය නම් කිමෙක්‌දැයි විමර්ශනය කිරීමද ඔවුන්හට පැවරුණු තවද කාර්යයකි. කවිය පිළිබඳ සිද්ධාන්ත ගවේෂණය කිරීමේ ශාස්‌ත්‍රීය ව්‍යාපාර ද ඇරඹුණේය. පැරැණි ආලංකාරිකයන්ගේ පිළිගැනීමේ හැටියට කවිත්වයෙහි බීජය ප්‍රතිභාවයි. වාමනයෝ කවිත්ව බීජය ප්‍රතිභාන යෑයි කියති. ප්‍රතිභා සම්පත්තිය පූර්ව වාසනාවෙන් පහළ වන්නකි. පූර්ව වාසනාව ජන්මයක්‌ ජන්මයක්‌ පාසා පෝෂණය වෙමින් පැවැත එන්නක්‌ සේ සැලැකෙයි. මෙම පූර්ව වාසනාව නැති තැන ද කවිත්වය වගාකොට ගත නොහැක්‌කේ නොවෙයි. පූර්ව වාසනා යෑයි කියනු ලබන ප්‍රතිභා සපුව නැති වුවද ශ්‍රැත අභ්‍යාස යන දෙකින් උපාසිත වූ වාක්‌ තොමෝ කවිත්වයෙහි අල්ප වූ නමුත් අනුග්‍රහයක්‌ කෙරේ මැයි. එහෙයින් කාෙව්‍යාපදේශක වූ ගුරුවරයනට කටයුතු ශ්‍රශ්‍රැෂාවෙන් ශැතය වඩා ගත යුත්තේ යෑයිද දණ්‌ඩීහු පවසති. ආදිතම ආලංකාරිකයන්ගේ සිද්ධාන්තවලින් පෙනෙන්නේ බොහෝ විට ඔවුන්ගේ මතවාද කවියේ බාහිර ලක්‌ෂණ විග්‍රහ කිරීමට වෙන්වී ඇති බවය. රසයේ අභිව්‍යක්‌තිය කවියේ උත්තරීතර ඵලය වශයෙන් හැඳින්වීමට �වනිවාදීහු වෑයම් කළහ. රසය කාව්‍යයේ ආකෘතිය විචිත්‍ර කරන භූෂණයක්‌ අලංකරණයක්‌ වශයෙන් සැලකීම ඔවුන්ගේ අභිමතය විය. හේතුඵල පරම්පරාවක ප්‍රතිඵලයක්‌ වශයෙන් පහළ වන කවිය ඓන්ද්‍රීය වශයෙන් සම්බන්ධ කරවන කාව්‍ය ධර්මයන් පිළිබඳව සැලකීම ඔවුන් අතින් අත්හැරී ගියේ නොවේ. ක්‍රමයෙන් විකාශනයට පත්වූ කොළඹ යුගයෙහි කවියේ පහළ වූ නව ප්‍රවණතාවෝ කවියෙහි බාහිර ආකෘතික ලක්‌ෂණ මෙන්ම අභ්‍යන්තරික කාව්‍ය ධර්මතා ද ඉස්‌මතු කරන්නට ප්‍රයත්න දැරූහ. කොළඹ කවියේ සම්භාව්‍ය පදනම සකස්‌ වූයේ මෙම කරුණු පාදක කොට ගෙනය. කොළඹ යුගයෙහි ලා වර්ග කරනු ලබන නව කවියෙහි ප්‍රධාන අවස්‌ථා දෙකක්‌ නිර්ණය කොට දැක්‌විය හැකිය. විසි වැනි සියවසේ මුල් අඩ පළමුවැනි අවස්‌ථාවටත් පසු අඩ දෙවැනි අවස්‌ථාවටත් ඇතුළත් වන්නේය. මෙම උභය අවස්‌ථාවෙහි ම තවද අනුශාඛා කිහිපයක්‌ දැක්‌වීය හැකිය. වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන විට මෙම යුගය නිදහස දිනා ගැනීමට පෙර යුගය සහ නිදහස දිනා ගැනීමෙන් පසු යුගය යනුවෙන් වෙන් කළ හැකිය. එබැවින් නිදහස දිනා ගැනීමට පෙර යුගයේ ජීවත් වූ කවීන්ගෙන් ඉටුවිය යුතු කාව්‍යමය මෙහෙවරට වඩා වෙනස්‌ කාව්‍යමය මෙහෙවරක්‌ ඉටුකිරීමට නිදහස දිනා ගැනීමෙන් පසු යුගයේ කවීන් හට සිදුවිය. යුග ධර්මතා අනුව සිදුවන මෙම වෙනස නොතකා හැරීමෙන් ඇතැම් විට අන්දමන්ද වූ රචකයෝද වූහ. ඔවුන් පාඨක ජනතාවගෙන් කොන්වීම නොවැළැක්‌විය හැකිය. පොදුජන රුචිය හඳුනා ගැනීමට අපොහොසත් වන බැවිනි. සිංහල භාෂාවේ වදන් රටා නිමවී ඇති අයුරු බලන විට බොහෝ අපරදිග භාෂාවල දක්‌නට නොලැබෙන ලක්‌ෂණයක්‌ විද්‍යමාන වෙයි. සංගීතාත්මක ගීතවත් බව නව යුගයෙහි සාහිත්‍යමය වූද සංගීතමය වූද සාකච්ඡා සංවාද සම්මන්ත්‍රණවලදී නොයෙක්‌ විට උපයෝගි කරගනු ලැබේ. රිද්මය යනු හැඳින්වීමට මුල් අවධියේ භාවිත වූ ලීලාව, ලතාව, ලළනය වැනි වචනවලින් අපේක්‌ෂිත අර්ථය දැන් රිද්මය යන්නෙන් ඊප්ෂිතය කලා කෘතියක අගය වැඩිවීමට රිද්මය බෙහෙවින් බලපායි. මෙම රිද්මය චල රිද්මය, අචල රිද්මය දෘශ්‍ය, රිද්මය, ශ්‍රව්‍ය රිද්මය යනාදී ක්‍රමවලට ද විභජනය කළ හැකිය. සිංහල භාෂාවෙහි වදන් රටා සකස්‌වී ඇති අයුරු වාග් විද්‍යාත්මක විශ්ලේෂණයකට යොමු කරන විට එහි බොහෝ වදන්, දෙමත්, තෙමත්, සිවුමත්, පස්‌මත්, සයමත් යන ආදී විසින් සෑදි ඇති බව පෙනේ. මෙම වදන් පෙළගැස්‌වීමේදී ස්‌වයං සිද්ධව බිහිවන විරිත සිංහලයේ ආවේණික ලක්‌ෂණයකි. භාෂා ධර්මතාවයකි. එබැවින් බොහෝ සිංහල වදන් පෙළවල් මිහිරට ඇද පැද ලෙළවා ගැයීමට පිළිවන. තාලයට ලයට ලීලාවට රිද්මයට වාසගම් පොත් එනම් ගද්‍ය ප්‍රබන්ධ කියවනු ඇසීමට පිළිවන් වන්නේ මෙම අවියෝජනීය ලක්‌ෂණය හේතුකොට ගෙනය. ආරාම ශෛලිය නමින් අප හඳුන්වන හඬ නඟා අකුරු මැනවින් උසුරුවා කියවීමේදී අමුතු මිහිරියාවක්‌ අපට දැනේ. ඕසයට ගායනා කිරීම අඬහැර පෑම වැනි අවස්‌ථාවලදීද මෙම ශබ්ද ධර්මතා, භාෂා ධර්මතා සහ ගායන ධර්මතාව පැහැදිලි වෙයි. සිංහල පැදි බහුල වශයෙන් පබඳිනු ලබන්නේ දෙමත්, තුන්මත්, සිවුමත් වදන් ගොනුවන විරිත් රටාවලින් ය. එබැවින් සඳැසකට විරිතකට නොවැටෙන නොගැලපෙන අනුරූප නොවන රස වැකියක්‌ නොවන කවර නම් වැකියකුදු සිංහලයෙන් රචනා කිරීම දුෂ්කරය. සැබැවින්ම බැරිය. සිංහලයෙහි සෑම වැකියක්‌ම වදන් පෙළක්‌ම ලියවෙන්නේ නෙසහස්‌ විරිත් අතුරින් කවර නම් විරිතකට හෝ හසුවන පරිද්දෙනි. සÄසකින් බැහැර නොවන පරිද්දෙනි. ඉහත කී භාෂා ධර්මතාව පොදු සිංහල ලක්‌ෂණයකි. කාව්‍යයෙහි අවිකල්පයෙන් ලැබෙන මෙම ලක්‌ෂණය භාෂාත්මක ආවරණයෙන්ද භාෂණාත්මක ආවරණයෙන්ද සමාජාත්මක ආවරණයෙන්ද උචිත විය යුත්තේය. වස්‌තු විෂය අරමුණු, අභිප්‍රේරණ ආදිය සොයා නව මංවල ගමන් කරද්දී කොළඹ යුගයේ කවීන් සිය අත්දැකීම් කාව්‍ය මාධ්‍යයෙන් සංනිවේදනය කරන්නට වෑයම් කෙළේ ඉහත කී කරුණු පිළිබඳව වැටහීමක්‌ ඇතිවය. සාර්ථක තත්ත්වය හෝ අසාර්ථක තත්ත්වය දක්‌නට ලැබුණේ මෙම චිර සම්භාවිත පරිචයෙන් ඈත්වී විරෝධාකල්ප මත පිහිටීමට වෑයම් කල අවස්‌ථාවලදී පමණි. උචිත බව නොසලකා හල අවස්‌ථාවලදී පමණි. කවර යුගයක හෝ කවිකාH_ය යුග ධර්මතාවලට, සමාජ ඕනෑ එපාකම්වලට අනුරූප නොවූ විට එය චිරස්‌ථායී භාවප්‍රකාශනයක්‌ බවට නොපැමිණේ. කොළඹ යුගයේ කවීන්ගෙන් මෙම සත්‍යය වටහා ගත් බොහෝ දෙනා ස්‌වකීය කාව්‍යමය යුතුකම සහ සමාජයමය මෙහෙවර මැනවින් ඉටු කළහ. පාඨක අනුග්‍රහය සහ ජනතා අනුග්‍රහය ලැබුණේ ලැබෙන්නේ ඔවුන් හටය. දෙස්‌ වහර සහ ආධ්‍යාත්මික ස්‌වරූපය අමතක කරන්නට වෑයම් කළහොත් එවිට අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නොපිළිවන. කොළඹ කවි යුගය පොදු මහජනතාව ගේ වින්දන ශක්‌තිය ප්‍රගුණ කරවීම සඳහා කිහිප අතකින්ම ප්‍රතිබල සම්පන්න විය. මුද්‍රණයෙන් ප්‍රකාශයට පැමිණවීමේ අවස්‌ථාව ලැබූ කොළඹ කවි ගායනයෙන් ජනතාව හමුවට යැමේ භාග්‍යයද ලබාගත්තේය. එබැවින් කොළඹ යුගයෙහි කවියා ජනතාව තුළ සංකල්පයක්‌ මවන සංනිවේදකයකු බවට ද පත්ව සිටී. පැරැණි කටකතා කථාවට සම්බන්ධ සම්ප්‍රදාය අනුව යමින් මහජනතාව ඉදිරියේ කවි කියවා ශ්‍රවණ මාධ්‍යයෙන් ද අරුත් වටහා දීමේ පිළිවෙත කොළඹ යුගයේදී නැවතත් ක්‍රියාත්මක විය. පොදු මහජන රැලිsවලදී මිහිරට කියන කවි අසා සිටීමෙන් ප්‍රබෝධයට. ප්‍රමෝදයට සහ උද්දාමයට පවත්වන කවි රසිකයන්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ. ජනතාව වෙතින් දැක්‌වෙන මෙම ප්‍රතිචාරය කවීන්ට නව නිර්මාණ බිහි කිරීමේ වෑයමක යෙදෙන්නට පසුබිම සකස්‌ කොට ඇත. වර්තමාන බටහිර රටවල ද රසිකයන් ඉදිරිපිට තම කවි නිර්මාණයක්‌ කියවා ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය අල්ප වශයෙන් නමුත් ප්‍රචලිත වන බව දකින්නට පිළිවන. විශේෂය නම් අපේ රටේ මෙන් නොව, එම රටවල එබඳු රැස්‌වීම් වලට සහභාගි වන පිරිස අල්ප වීමය. එයට ප්‍රධාන හේතුවක්‌ වශයෙන් ඉදිරිපත් කළ හැක්‌කේ අපේ රටේ මෙන් එම රටවල ලියෑවෙන කවි හුqදු කියවීමක්‌ විනා ශ්‍රවණ මාධුර්යය ඔප් නංවන ළයකට, තාලයකට, රිද්මයකට අනුව ඉදිරිපත් කරන මිහිරි ගායනයක්‌ නොවීමය. අපේ රටේ පද්‍ය නිර්මාණය මේ අතින් වැඩි වාසියක්‌ හිමිකර ගෙන සිටී. අපේ පද්‍ය රචනා ඡන්දයක්‌ විරිතක්‌ මත නිමැවෙන බැවිනි. අපේ කවිය නිශ්ශබ්ද කියවීමට වඩා සශබ්ද කියවීමට උචිත වන පරිද්දෙන් නිර්මාණය වෙයි. විරිතේ බලපෑම වැඩි වන්නේ එතැනදීය. චිරසම්භාවිත නිර්මාණශීලී කාව්‍ය සම්ප්‍රදායක්‌ ඔස්‌සේ කොළඹ යුගයට පැමිණි නව කවිය යුගයේ අවශ්‍යතාවලට අනුකූල වන පරිද්දෙන් හැඩගස්‌වා ගැනීම යුගයෙහි පහළ වූ කවීන්ට භාර විය. මෙම කාර්යය කොතරම් සඵල වීද යත්, කොළඹ කවිය කිහිප අතකින්ම නව අනුභූතීන් සෙවීමට පටන් ගත්තේය. කොළඹ යුගයෙහි දක්‌නට ලැබෙන විශේෂ ලක්‌ෂණ අතර විවිධ අනුභූතීන්, විවිධ පද්‍ය ආකෘති තුළින් ඉදිරිපත් කිරීම කැපී පෙළෙන්නකි. දුරවබෝධ, පදහරඹ, යමක, ශ්ලේෂ, අනුප්‍රාස ආදිය යෙදීම මුළුමනින්ම පාහේ අත්හළ කොළඹ කවීහු අර්ථයට මුල්තැන දීම ප්‍රිය කරන්නට වූහ. අග එලිවැට පමණක්‌ ඉතිරි වූ රචනා ශෛලිය වහා ජනප්‍රිය වූයේ මෙම නව මාවත ඔස්‌සේය. සුගම, සරල, මටසිලිටි වදන් වැලකින් යුක්‌ත කොට කාව්‍ය නිර්මාණයට බැහැරව ගත් නව පරපුරේ කිවිවරු ගැඹුරු කාව්‍ය සංකල්පයක්‌ ඉතාම කෙටි රචනයකින් ප්‍රකාශ කිරීමට හුරුපුරුදු වූහ. මෙම යුගයෙහිදී කුලක වැනි නිබැඳුම් දක්‌නට නොලැබෙන්නේ ඉහත කී හේතුව නිසාය. වදන් රටා සංයෝජනයෙන් පහන් ගුණ දනවන පද සම්බන්ධයෙන් නැවුම් රසභාව ජනනය කරවීමෙන් කරන පබැඳුම් සිය දහස්‌ ගණනින් පහළ වූයේ කොළඹ යුගයේ කවි පදනම නව වහරකින් සකස්‌ වූ හෙයිනි. නව සිංහල පද්‍යයෙහි ආකෘති වෙනස්‌කම් කිහිපයක්‌ විසි වැනි සියවසේ දක්‌නට ලැබිණ. කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ කවීන් පැරැණි සම්ප්‍රදායෙහි ම එල්බ ගෙන සිටි අතර තරුණ කවීන් අලුත් අත්හදා බැලීම් කිරීමට පටන් ගත් බව පෙනේ. එහෙත් දෙපිරිස අතර පැහැදිලි මතවාදී ගැටුමක්‌ මතු නොවීය. කවියේ ආකෘතිය සහ කවියේ භාෂාව පිළිබඳ නව ස්‌වරූපයක්‌ ගැන්වීම දෙපසේම අපේක්‍ෂාව විය. සුබැසි කවි ගුරු කුලය පහළ වූයේ තිහේ දශකයේ අග භාගයේ ය. එම ව්‍යාපාරය හෙළ හවුල නමින් සංස්‌ථාපිත විය. විරිත්වල වෙනසක්‌ ඇති කිරීමට පෙළඹුණු ඔවුහු ගී විරිත්, ගණ විරිත් මෙන්ම සමපාද විරිත් ද සිය කාව්‍ය ප්‍රබන්ධ සඳහා උපයෝගී කර ගත්හ. ඉංගිරිසි සාහිත්‍යයේ "µS්‍ර වර්ස්‌" (Fරුe ඪැරිe) නමින් හඳුන්වනු ලබන කාව්‍ය සම්ප්‍රදාය අනුව නිසÄස්‌ කවි සම්ප්‍රදායත් පනහේ දශකය තුළ ද සිංහල සාහිත්‍යයට එක්‌විය. සඳෙසක්‌ (මීටර්) විරිතක්‌ (ටියුන්) නොමැති රචනා මෙම ගණයෙහි ලා වර්ග කරනු ලැබේ. ඉක්‌බිති නිසÄස්‌ රචනයෙහි යෙදෙන තරුණ පරපුරක්‌ බිහි විය. ඔවුන්ගේ රචනා ඇතුළත් නිසÄස්‌ පද්‍ය සංග්‍රහ ද පළවිය. නව සම්ප්‍රදාය ව්‍යාප්ත කිරීමටත් විවේචනය කිරීමටත් රසික පිරිසක්‌ ඉදිරිපත් වූහ. සිංහල පද්‍යයේ ආකෘතිය සම්බන්ධයෙන් බටහිර සාහිත්‍යයේ බලපෑම සිදුවූ ප්‍රථම අවස්‌ථාව මෙයයි. ඊට කලින් සිංහල කවියේ ලක්‌ෂණ මෙන්ම ආකෘතිය ද හැඩගැසුණේ සංස්‌කෘත සාහිත්‍යයේ පූර්වාදර්ශයෙනි. නිසÄස්‌ කවි සම්ප්‍රදාය පහළ වී දශක තුනක්‌ යන්නටත් මත්තෙන් ඒ තුළින් තවද ශාඛාවක්‌ බෙදී ගියේය. නිසÄස්‌ කවියට අනුගත වූවත් එම ශාඛාව ඇරැඹුණේ වෙනස්‌ සම්ප්‍රදායක්‌ ලෙසිනි. නිදහස්‌ කවි නමිනි. කවර සම්ප්‍රදායක්‌ අනුව වුවද කාව්‍ය රචනයෙහි යෙදෙන ස්‌වාධීන පිරිසක්‌ සේ මොවුහු පෙනී සිටිති. විචාරකයන් විසින් වර්ග කරනු ලබති. ඉකුත් ශතක කීපය තුළ ඉංගිරිසියෙන් සිතා ඉංගිරිසි බසින් පද්‍ය රචනයෙහි යෙදෙන සිංහල රචකයන් කීප දෙනෙක්‌ පහළ වූ අතර ඔවුන්ගේ රචනා ඇතුළත් ඉංගිරිසි කවි පොත් ද පළවිය. පළමුවෙන් සිංහල බසින් ලියූ කවි ඉංගිරිසියට පෙරළා පරිවර්තිත ග්‍රන්ථ ලෙස පළ වූ ග්‍රන්ථ කීපයක්‌ ද වෙයි. අකුරු, වචන, පද, වැකි සÄස, විරිත, තාලය (රිද්මය) හා අර්ථය රසවත් පද්‍යයක්‌ බිහි වීමට අවශ්‍ය කරුණු වෙයි. එයින් තොරව පද්‍යයක්‌ නිර්මාණය විය නොහැකිය. පද්‍ය නිබන්ධය රස භාවයන්ගෙන් හා අලංකාරයන්ගෙන් විසිතුරු විය යුතුය. නිවැරැදි විය යුතුය. අතිශයෝක්‌තියෙන් බැහැර විය යුතුය. විවිධත්වය, විචිත්‍රත්වය යන ලක්‍ෂණවලින් යුතු විය යුතුය. උචිත අනුචිත බව විමසා බැලිය යුතුය. එය සිත්ගන්නා සුලු විය යුතුය. ආකර්ෂණීය විය යුතුය. තත්ත්වයෙන් උසස්‌ විය යුතුය. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ පටන් ඉංගිරිසි පද්‍ය සිංහල පද්‍යයට නැඟීමේ ප්‍රවණතාවක්‌ ඇති විය. සිංහල කවීන් සහ ලේඛකයන් කිහිප දෙනකු ඊට නැඹුරු වූ බව පළ කළ හැකිය. විශේෂයෙන් ඔවුහු ඉංගිරිසි සහ පෙරදිග භාෂා උගත්තු වූහ. එසේ වුවද එම පරිවර්තන ව්‍යාපාරය එතරම් ප්‍රචලිත වූයේ නැත. කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ කවීන් අතරින් මතු වූ මෙය දැනුදු සිදුවෙමින් පවතී. අල්ප වශයෙනි. ඉංගිරිසි කවීන්ගේ කාව්‍ය ග්‍රන්ථද පරිවර්තනය වූ අතර තෝරාගත් ඉංගිරිසි කවි කේවල පද්‍ය රචනා වශයෙන් ද පොත්පත් වල පළ විය. දැන් එළඹ ඇත්තේ ඉංගිරිසි පද්‍ය වඩ වඩාත් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් නොනැවතී සිංහල පද්‍ය ඉංගිරිසි භාෂාවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමය. මෙම වැදගත් කාර්යය සිදු කළ හැක්‌කේ ඉංගිරිසි සිංහල හසළ දැනුමක්‌ ඇති ද්විභාෂා උගතුන්හටය. එසේ කිරීම හේතු කොට ගෙන සිංහල කවි සංකල්පවල අන්තර්ගතය ඉංගිරිසි ජාතිකයන් අතර පමණක්‌ නොව ජාත්‍යන්තර ප්‍රජාවත් සමඟ බෙදා හදා ගැනීමට පිළිවන් වන්නේ ය. මේ සම්බන්ධයෙන් සුදුසු වියතුන්ගේ අවධානය යොමු කිරීම කාලෝචිත යෑයි සිතමි. විමල් අභයසුන්දර 2005 වසරේ ගොඩගේ ප්‍රකාශනයක්‌ ලෙසින් එළිදැක්‌වූ කතුවරයාගේ zමනැස්‌ කාව්‍ය සංග්‍රයෙන් උපුටා ගන්නා ලදී.  Powered By -   සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය