දෙලොව යහපත කියාදෙන උග්ගහ සූත්‍රය හේමමාලි නිලාන්ගනි කරුණාරත්න

දෙලොව යහපත කියාදෙන උග්ගහ සූත්‍රය හේමමාලි නිලාන්ගනි කරුණාරත්න

 දිනක්‌ මෙණ්‌ඩක සිටුතුමාගේ මුණුබුරා වන උග්ගහ සිටුවරයා බුදුන්වහන්සේ වෙත පැමිණ තම දූදරුවන්ගේ විවාහ මංගල්‍යය නිමිතිකොට ගෙන තම නිවසෙහි දානයක්‌ පිළියෙළ කර ඇති බවත්, ඒ සඳහා බුදුන්වහන්සේ ප්‍රමුඛ භික්‌ෂුන් වහන්සේලා එහි වැඩමවන ලෙසත් ආරාධනා කර සිටියහ. එම ආරාධනාව පිළිගත් බුදුන්වහන්සේ උග්ගහ සිටුතුමාගේ නිවසට වැඩම කොට දන් වළ¹ අවසානයේ උග්ගහ සිටුතුමාගේ ඉල්ලීම පරිදි පතිකුලයට යන දූ වරුන්ට අනුශාසනාවක්‌ ද කළහ. උපන්දා සිට බොහෝ දුක්‌ කරදර විද හැදූ වැඩූ දෙමවුපියන් අත්හැර අලුත්ම පරිසරයකට, අලුත්ම නෑදැ හිතමිතුරන් සමූහයක්‌ ළඟට යන දියණිවරුන්ට වාසනාවන්ත ජීවිතයක්‌ ගත කිරීමට අවශ්‍ය අවවාද රාශියක්‌ බුදුන්වහන්සේ උග්ගහ සූත්‍රයේ දී දේශනා කළහ. ඒවා නම්, 1. ස්‌වාමි පුරුෂයාට ප්‍රථම හිමිදිරියේ ම නැඟිට නිවසේ සියලු කටයුතු මැනවින් සංවිධානය කිරීම. 2. දවස අවසානයේ සියලු දෙනාටම පසුව නින්දට යැම. 3. කළ යුතු කටයුතු විමසා බලා කිරීම. 4. හැසිරීමෙන් හා වචනයෙන් සැමියාට ප්‍රිය වීම. 5. සැමියා විසින් ගරු බුහුමන් දක්‌වන්නා වූ මවුපියන්, පැවිදි පක්‌ෂයේ උතුමන් ආදී පිරිස්‌ කෙරෙහි බිරිඳ ද ගෞරව දැක්‌වීම. 6. අභ්‍යන්තර කර්මාන්ත කටයුතු පිළිබඳ දක්‌ෂ වීම, ඒ කටයුතු පිළිබඳව අනලස්‌ව හා එම කටයුතු විධිමත්ව නිම කිරීමට උපායශීලි වීම. 7.ස්‌වාමියාගේ සේවකාදීන් පිළිබඳව සොයා බලා ඔවුන්ට ද හොඳින් සංග්‍රහ කිරීම. 8. ස්‌වාමියා උපයා සපයා දෙන දේ මැනවින් රැක බලා ගැනීම. එදා බුදුරජාණන්වහන්සේ උග්ගහ සිටුතුමාගේ දූ කුමරියන්ට පතිකුලයට යැම නිමිත්තෙන් දුන් එම අවවාදයන් වර්තමාන සමාජයේ ජීවත්වන දියණිවරුන්ට ද පිළිගෙන ක්‍රියාත්මක කිරීමට හැකි නම් පවුල තුළ නිර්මාණය වන්නට අරඅදින බොහෝ ගැටලූවල මූල බීජ මුල් අවධියේ දී ම මුලිනුපුටා දැමිය හැකි නො වේද? යහපත් භාර්යාවක්‌, යහපත් ගෘහණියක්‌, වැදගත් ස්‌වාමි දුවක්‌ වීමට නම් කාන්තාවක්‌ විසින් පිළිපැදිය යුතු කරුණු රාශියක්‌ බුදුන්වහන්සේ විසින් මෙම සූත්‍රයේදී දේශනා කළහ. උග්ගහ සූත්‍රයේ දී බුදුන්වහන්සේ කාන්තාවක්‌ විසින් අනුගමනය කළ යුතු පළමු වැදගත් කරුණු දෙක වශයෙන් සඳහන් කොට ඇත්තේ ස්‌වාමිපුරුෂයාට ප්‍රථම හිමිදිරියේ අවදිවී නිවසේ සියලු කටයුතු මැනවින් සංවිධානය කිරීම සහ දවස අවසානයේ සියලු දෙනාටම පසු නින්දට යැමය. සිය පවුල වෙනුවෙන් යුතුකම් ඉටුකරන යහපත් භාර්යාවක්‌ නම් අලුයම සැමට පළමුව අවදි විය යුතුමය. 'භාර්යාව' , 'ස්‌වාමි දුව' යනුවෙන් හඳුන්වන්නේ නිවසෙහි ප්‍රමුඛත්වය ඇයට හිමි වී ඇති බැවිනි. යම්කිසි නිවසක භාර්යාව එසේත් නැත්නම් ස්‌වාමිදුව ඉරපායා ඇතත් තව දුරටත් බොහෝ වේලාවක්‌ නින්දේ පසුවන්නේ නම් එම පවුලට කිසිදාක දියුණුවක්‌ ළඟා කර ගත නො හැකිය. ස්‌වාමියා රැකියාවට පිටත් කර යෑවීම, දූදරුවන් පාසල් යෑවීම, උදෑසන කෑම බීම සකස්‌ කිරීම, ගේ-දොර සුද්ධ පවිත්‍ර කිරීම, වයසක මවුපියන් නිවසේ රැඳී සිටීනම් ඔවුන්ට ඇප උපස්‌ථාන කිරීම ආදී වැඩ කටයුතු රාශියක්‌ භාර්යාවකට සිය පවුල තුළ උදෑසන සිදු කිරීමට නියමිතව ඇත. මේ සියලු කාර්යයන් මඟ නො හැර ඉටු කිරීමට නම් ඇය අලූයම අවදි විය යුතුමය. නින්දට වහල් වී අලසව නිදි යහනේම සැතපී දහවල් වනතුරු නිදා සිටියහොත් සිදුවන්නේ නිවස අවුල් ජාලාවක්‌ බවට පත්වීමයි. දරුවන් නොයෙක්‌ අඩුපාඩු සමඟ කුසගින්නේම පාසල් යනු ඇත. ස්‌වාමියා ද නො සතුටින් රැකියාවට යන අතර බිරිඳ කෙරෙහි ඔහු සිත තුළ ක්‍රමයෙන් කළකිරීමක්‌ ද අප්‍රසාදයක්‌ ද වැඩෙනු ඇත. දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ මේ ක්‍රියාව මෙසේ ම සිදුවුවහොත් එය ඔවුන්ගේ පවුල් ජීවිතය ද දෙදරා යැමට හේතුවක්‌ වනු ඇත. උදෑසනම පිබිදී නිවසේ කුදුමහත් කටයුතු සොයා බලා කඩිසරව ඉටුකරන භාර්යාවක්‌ සිටින නිවසට නිරතුරුව ශ්‍රියාකාන්තාවගේ ආශිර්වාදය ලැබෙනු ඇත. දවස අවසානයේ සියල්ලන්ටම පළමුව නින්දට යන භාර්යාව කාගේත් පිළිකුලට ලක්‌වන්නේ ය. රාත්‍රියේ දී පවුලේ සියලු සාමාජිකයන් නින්දට ගිය පසු ගේ දොර, මනාව ශුද්ධ පවිත්‍ර කොට, විශේෂයෙන් මුළුතැන්ගෙය වැනි ස්‌ථානයන් පිරිසිදු කොට, නිවසේ දොර ජනෙල් හොඳින් වසා තිබේදැයි බලා නිවසේ ආරක්‌ෂාව පිළිබඳ සෑහීමකට පත්වූ පසු ව භාර්යාව නින්දට යා යුතුය. සිය පවුල පිළිබඳ කාන්තාවක්‌ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව බුදුන්වහන්සේ ඒ තුළින් අවධාරණය කොට ඇත. පවුලක්‌ යනු කුඩා ආණ්‌ඩුවකි. එහි අමාත්‍යාංශ රාශියක්‌ ඇත. එම අමාත්‍යාංශ සියල්ලම පිළිබඳව ප්‍රධාන වගකීම දරන්නේ ගෘහණියයි. හැම අමාත්‍යාංශයක්‌ පිළිබඳවම අගමැතිනිය දැනුවත් විය යුතුය. ආහාර, කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, මුදල් , වෙළඳ, ආදී ආණ්‌ඩුවකට අයත් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු පවුල් රාජ්‍යය තුළ ක්‍රියාත්මක වේ. ලෝක බැංකුවට ණය නොවී රටක්‌ පවත්වාගෙන යන්නාක්‌ මෙන් රටට සමාජයට ණය නොවී චාම් දිවි පැවැත්මකින් ගෘහ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්නට, ගෘහණියකට හැකියාව තිබිය යුතුය. කලට වේලාවට කළ යුතු සියලූ කාර්යයන් සොයා බලා විමසා කල්පනාකාරීව, අනලස්‌ව, උත්සාහයෙන් කළ යුතුය. විශේෂයෙන් බිරිඳක්‌ තම ගෙදර දොරේ වැඩකටයුතුවලදී වීර්යයෙන් යුක්‌තව වෙහෙස මහන්සියෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත්ය. විශාඛා සිටු දියණිය සිය නිවසේ සියලුම වැඩකටයුතු සියතින්ම සිදු කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. නිවසකට ඇතුල් වූ විට එහි ඇති සංවිධානාත්මක බව හා නිවස අවට පරිසරය අනුව එම නිවසේ භාර්යාවගේ තත්ත්වය වටහා ගත හැකිය. පොල් අතු සෙවිලි කළ පැල්පතක්‌ වුවද අනලස්‌ව කඩිසරව ක්‍රියා කරන විර්යවන්ත කාන්තාවකට පිරිසිදුකමෙන් හා සුන්දරත්වයෙන් සුර විමනක්‌ කරගත හැකිය. හැසිරීමෙන් හා වචනයෙන් භාර්යාව සැමියාට ප්‍රිය විය යුතුය. භාර්යාවකට අහිංසක බව, අභරණයකි. ප්‍රිය මනාප මුහුණක්‌, සන්සුන් ගති පැවතුම්, කාරුණික කතා බහ, භාර්යාවක්‌ සතු වීම එම පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේද භාග්‍යයකි. විශේෂයෙන්ම භාර්යාව විසින් ස්‌වාමියාගේ මවුපියන් සිය මවුපියන් මෙන් සිතා කටයුතු කළ යුතුය. මෙලොව පවත්නා සදාතනික අරගලය නැන්දම්මා ලේලි හබය තව තවත් සන්නද්ධ වන ආකාරයට ක්‍රියා නො කොට මව සහ දියණිය ලෙසින් එකවහළක්‌ යට ජීවත් වන්නට උත්සාහ කළ යුතුය. සිය පවුල් සංස්‌ථාව පිළිබඳව වගකීම සිතට ගෙන ක්‍රියා කරන බිරිඳක්‌ නම් අභ්‍යන්තර කර්මාන්ත කටයුතු පිළිබඳ දක්‌ෂ විය යුතුය. එනම් ස්‌වාමියා විසින් කිසියම් කර්මාන්තයක නියෑළී සිටින්නේ නම් බිරිඳ ද ඒ පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා සිටිය යුතුය. එකී අවබෝධය එම කර්මාන්තයන්හි වැඩි දියුණුව උදෙසා ප්‍රයෝජනවත් වේ. ස්‌වාමියා නොමැති විටෙක වුවද කර්මාන්තය වැනසී යා නොදී රැක ගැනීමට එවිට බිරිඳට හැකියාව ඇත. බුදුන්වහන්සේ උග්ගහ සූත්‍රයේ දී දේශනා කරන ලද්දේ 'ස්‌වාමියා උපයා සපයා දෙන දේ මැනවින් රැක බලා ගැනීම' භාර්යාවකගේ ප්‍රධාන යුතුකමක්‌ වන බවය. පවුල් සංස්‌ථාවක සාමකාමී පැවැත්මට මූලික වන ප්‍රධාන කාරණයක්‌ ලෙස මෙය හැඳින්විය හැකිය. බිරිඳ හැමවිටම සිය සැමියා උපයන ධනය වස්‌තුව රැකබලා ගත යුතුය. ඒවා නිකරුණේ නැති නාස්‌ති වී විනාශ වී යන්නට ඉඩ නො දිය යුතුය. බුදුන්වහන්සේ දීඝජානු කෝලිය පුත්‍රයා හට දේශනා කරන ලද ව්‍යග්ඝපඡ්ජ සූත්‍රයෙහි දී පෙන්වා වදාළ මෙලොව දියුණුවට උපකාර වන්නා වූ දහම් කරුණු හතරෙන් එකක්‌ වන්නේ ආරක්‌ඛ සම්පදාවයිs. පිරිහීම ගෙන දෙන යම් යම් නිසරු දේ සඳහා වස්‌තුව වියදම් නො කොට රැක ගැනීම මෙයින් අදහස්‌ වේ. අංගුත්තර නිකායේ ප්‍රථමලෝකවිජය සූත්‍රය, කුල සූත්‍රය, උග්ගහ සූත්‍රය, දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර දේශනා රැසකම මෙම කරුණ අවධාරණය කොට ඇත. බිරිඳකගේ අනවශ්‍ය විය පැහැදම් ඇතැම් විට ස්‌වාමි පුරුෂයකුට සිය ජීවිතය ද එපා කරවීමට හේතුවක්‌ විය හැකිය. මිල මුදල් ඉපයීමට පුද්ගලයකු විසින් බොහෝ වෙහෙස මහන්සි විය යුතුය. එසේ වෙහෙස වන්නේ ශාරීරිකව හෝ මානසිකව විය හැකිය. මුදලේ වටිනාකම හඳුනන්නේ දුකසේ මුදල් උපයන පුද්ගලයාය. ඒ හේතුව නිසා ම ගුණ ගරුක බිරිඳක්‌ ලෙස සිය සැමියා උපයා සපයා දෙන සියලු වස්‌තුව අනවශ්‍ය ලෙස විනාශ මුඛයට යා නො දී රැක ගත යුතුය. අරපිරිමැස්‌ම, සකසුරුවම කාන්තාවක්‌ ඉගෙන ගත යුත්තේ එබැවිනි.

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය