ප්‍රස්තාව-පිරුළු අන්තර්ජාල උපුටා ගැනීම්

http://www.myschool.lk/ලිපි

ප්‍රස්තාව පිරුළු 01

ප්‍රස්තාව පිරුළු


අඩන්න එපායැ කිරි එරෙන්න - ඉම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට බලවත් සේ ඉල්ලීම් කර ඒවා ලබා ගැනීම
  
අගේ ඉ‍‍දන් කන කනවා වාගේ - කෙනෙකු සමීපව ඇසුරු කරමින්, ලාභ ප්‍රයෝජන ලබා ගනිමින් ඔහුටම විපත් සිදු කිරීම

අටුව කඩා පුටුව හැදුවා වාගේ - අඩු වටිනාකමකින් යුත් දෙයක් ලබා ගැනීම සදහා වැඩි වටිනාකමකින් යුත් දෙයක් විනාශ කිරීම
බොහෝ පැරණි ගෙවල් වල අටුවක් දක්නට ලැබුණි. බොහෝවිට ධාන්‍ය ආදිය ගබඩා කර තබා ගැනීමට මෙය භාවිතා කරන ලදී. බිත්ති අතර බාල්ක යොදා ඒ මතට ශක්තිමත් ලෑලි දමා අටුවක් නිර්මාණය කරගනු ලබයි.  පුටුවක් යනු ඉතා කුඩා උපකරණයකි. පුටුවක් සෑදීමට අටුවක තිබෙන තරම් ලෑලි අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා අටුවක් කඩා පුටුවක් සාදනවා යනු මොඩ ක්‍රියාවකි.   

අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වාගේ - යම් කාර්‍යයක් සිදු කිරීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට ඒ සදහා උදව් ලැබීම

අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී - කිසියම් කාර්යක් එක් තැනක දීර්ඝ කාලයක් නොකර තැනින් තැනට මාරු වෙමින් ගොස් තමාගේ කටයුතු අසාර්ථක කර ගැනීම

අඩුව තිබියදී අත පුච්ච ගත්තා වාගේ - යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමට විධිමත් ක්‍රමයක් තිබියදී අනියම් ක්‍රමයකින් සිදුකරන්නට ගොස් අමාරුවේ වැටීම
ලිපක රත්කරන ලද යකඩයක් අතින් අල්ලා ඉවතට ගැනීමට උත්සහ කළහොත් සිදු වන්නේ අත පිළිස්සීමයි. එය ඉවතට ගැනීමේ නිවැරදි ක්‍රමය නම් අඩුවක් ආධාර කර ගනිමින් පිටතට ගැනීමයි. නිවැරදි ක්‍රමයක් තිබියදී අනිසික්‍රම භාවිතයෙන් සිදුවන්නේ අඩුව තිබියදී අත පුළුස්සා ගැනීමකි.

අත දීලා දත නියවනවා වාගේ - කෙනෙකුට උදව් ලබාදී දියුණු වූවාට පසුව යම්යම් අදව් උපකාර ඉල්ලා සිටීම

අගෙන් කිරි දේව්වා වාගේ - මෝඩ ක්‍රියාවක යෙදීම

අතර මගදී අත්වැල කැඩුනා වාගේ - කෙනෙකුගේ ජීවිතය සාර්තක කර ගැනීම සදහා වෙනත් කෙනෙකුගෙන් ලැබුණු සහය නොසිතූ අවස්ථාකව නොලැබී යාම
  
අන්දරේ සීනි කෑවා වාගේ - ප්‍රයෝගකාරී ලෙස තම අරමුණු ඉටු කර ගැනීම
අන්දරේ යනු රජවාසලේ කවටයාය. එය ඕනෑම කෙනෙකු දන්නා දෙයකි. එක්තරා දිනයක අන්දරේ රජ වාසලට පැමිණෙන විට එහි මිදුලේ පැදුරක මොනවාදෝ දමා තිබෙනවා දුටුවේය. අන්දරේ එතැනින් යන ගමන් මෙහි තිබෙන්නේ මොනවාදැයි රජුගෙන් විමසූහ. “ මේමාළිගාවේ අලුත්වැඩියාවක් සදහා ගෙනා වැලි” යැයි රජතුමා පිළීතුරු දුන්නේ මෙහි තිබෙන්නේ සීනි යැයි අන්දරේ දැන ගතහොත් ඔහුගෙන් බේරෙන්නට බැරි බව සිතාගෙනය. නමුත් පැදුරේ දමා තිබෙන්නේ සීනි යැයි දැනගත් අන්දරේ උපායක් යොදා සීනී කෑ යුතුයැයි අන්දරේ කල්පනා කළේය. අන්දරේ ඉක්මනින්ම ගෙදර ගොස් තම පුත්‍රයා අමතා මෙසේ පැවසූහ. “ පුතේ මා දැන් රජවාසලට යනවා. මා ගොස් ටික වේලාවකින් “ තාත්තේ” අම්මා මළා” යැයි කියාගෙන රජවාසලට දිවගෙන එන්න ඕනෑ.
කියූ පරිදි අන්දරේ රජවාසල බලා ගිය ඉක්බිතිව පුතාද අම්මා මළා යැයි කියමින් රජ වාසල කරා දිවගෙන ගියේය. රජතුමා සමග කථා කරමින් සිටි අන්දරේ පුතා එනවා දුටුවේය. පුත්‍රයා නැවතත් “ තාත්තේ අම්මා මළා” යැයි කියමින් කෑ ගහන්නට විය. එවිට අන්දරේද දෑතින්ම හිස බදාගෙන විලාප නගමින් “අනේ පුතේ මගේ කටෙත් වැලි උඹේ කටෙත් වැලි කියමින් සීනි පැදුරේ වාඩි වෙමින් සීනි අහුරු අහුරු පුතාගේ කටේත් තමාගේ කටේත් දමමින් සීනි කන්නට පටන් ගත්තේය. එවිට රජ්ජුරුවෝ “ හා හා අන්දරේ ඔය සීනි” යැයි කීවේය. දේවයන් වහන්‍ස ඒ බව මට කලින් නොකිව්වේ ඇයිදැයි විමසමින් අන්දරේ පැදුරෙන් නැගිට්ටේය.

අලි මදිවට හරක් - එක් කරදරයකට මුහුණුපාන අතර තවත් කරදරයක‍ට පත්වීම


අදාල විෂය : සිංහල
ලිව්වේ : ගයාන් මධුශාන්ත 


ලියු දිනය : 2015-04-24
Facebook MyLikes කැමති ගණන 8
ප්‍රස්තාව පිරුළු 02

ප්‍රස්තාව පිරුළු
අන්ධයන් ඇතාගේ හැටි කිව්වා වාගේ - කිසියම් කාරණයක් පිළිබද තමාට සිතෙන දැනෙන පරිදි තීරණ ගැනීම
අන්ධයන් පිරිසක් ඇතෙකුගේ සිරුර පිරිමැද බලා තම තමන් අවබෝධ කරගත් ආකාරයට උගේ හැඩරුව කීවෝය. ඇතාගේ කන අතගා බැලූ අන්ධයා කීවේ ඇතා කුල්ලක් වගේය කියාය. ඇතාගේ කකුලක් අල්ලා ගත් තැනැත්තා ඌ වංගෙඩියක් වගේ යැයි පැවසූහ. ඇතාගේ සිරුර අතගා බැලූ අන්ධයා පැවසුවේ අලියා බිත්තියක් වගේය කියාය. තවත් අන්ධයෙන් ඇතාගේ වලිගය බදාගෙන කීවේ අලියා ලනුවක් වගේය කියාය. ඇතාගේ දළ අල්ලා ගත් අන්ධයා පැවසුවේ අලියා කෙසෙල් බඩයක් මෙන් මටසිලිටු සතෙක් වන බවය. මේ ආකාරයට තම තමා විසින් අවබෝධ කරගත් දේ ඉදිරිපත් කරන අවස්ථාවක මේ පිරුළ භාවිතා වේ.

අතේ ඉන්න එක කුරුල්ලා‍ පදුරෙ ඉන්නා දහයකට වඩාවටී - තමා ලග තිබෙන සුළු දෙයක් වුවද අනුන් ලග තිබෙන විශාල දෙයට වඩා වටිනා බව

අන්ධයාට දීකිරිවල පාට කිව්වා වාගේ - හාස්‍යජනක තීරණ ගැනීම

අබරා සිල් ගත්තා වාගේ - නුපුරුදු කටයුත්තක් කරන්නට ගොස් අමාරුවේ වැටීම
එක්තරා ගමක අබරා නම් මිනිසෙක් වාසය කළේය. ඔහුගේ බිරිද සෑම පොහොය දිනකදීම අටසිල් ගැනීම සදහා පන්සලට යන්ණිය. අබරාටද සිල් ගැනීම සදහා ආශාවක් ඇතිවිය. සිල් ගන්නේ කෙසේදැයි අබරා බිරිදගෙන් විමසීය. “පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ කියන කියන වචනය තමනුත් කියන්න ඕනි” යනුවෙන් ඇය පැවසුවාය. ඊලග පොහොය දිනයේදී සිල් රෙදිද ඇදගත් අබරා පන්සල වෙතට ගියේය. එවිට හාමුදුරුවෝ අබරා අමතා “ ආවේ මොකදැයි” විමසූහ. එවිට අබරාද  “ ආවේ මොකදැයි” හාමුදුරුවන්ගෙන් ඇසුවේය. “මොහුට පිස්සුදැයි” හාමුදුරුවෝ ඇසුවේය. අබරාද පෙරලා “මොහුට පිස්සුදැයි” හාමුදුරුවන්ගෙන් විමසූහ. මේ අවස්ථාවේදී හාමුදුරුවන්ට කේන්ති ගොස් “ගනු කඹයක් මූ බදින්න” යනුවෙන් ඇබිත්යන්ට පැවසූහ. මෙයද අබරා විසින් පෙරලා පැවසූහ. ටික වේලාවකට පසුව ඇබිත්තයන් විසින් අතින් පයින් අබරාට පහර දෙන්නට විය. අවසානයේදී ගුටිකෑ අබරා ඉතා අමාරුවෙන් තමාගේ නිවස වෙත දුවන්නට පටන් ගත්තේය. පහර කෑඋමෙන් වේදනාවට පත් අබරා ඉතාමත් අපහසුවෙන් නිවස දෙසට එනවා දුටු බිරිය පුදුමයෙන් මෙන් ඒ දෙස බලා සිටියේය.
“ඇයි බොන නුඹල හැමදාම කොහොම සිල් ගන්නවද? මට එක දවසක් සිල් ගන්න ගිහින් සිල් ගැනීම එපාම වුණා.” යි පවසමින් තමන්ට සිදුවූ සියල්ල අබරා බිරිදට පැවසූහ. සැමියා කෙරෙහි අනුකම්පාව ඇතිවූ බිරිද සිරුරේ තෙල් බෙහෙත් ගැල්වූවාය.     

අනුන්ගේ මගුල් ගෙදරකදී තමන්ගේ ආදරය දැක්වූවා වාගේ - අනුන්ගේ දේවල් තමන්ගේ දේවල් මෙන් සලකා හිත මිත්‍රයන්ට සැලකීම

අප කන හැටි ලිපාදනී - ගෙදරක ඇති දුප්පත් කම අගවයි

අනුන්ගේ නම් හිසරදෙයත් හොදයි කීවාසේ - අනුන්ගෙන්ලැබෙන ඕනෑම දෙයක් ඉතා ඉහළින් පිළිගැනීම

අනුනවයෙන් බේරුණා - කිසියම් කරදරයකින් ඉතා අමාරුවෙන් ගැලවීම

අම්බලම කැඩුනට ගව්ව කොටවේද? - කළ යුතු කාර්ය ස්ථාවර පදනමක් ඇතිව කළ යුතුය

අපට ඇණියෙන් ගියත් එකයි අවරෙන් ගියත් එකයි - මොකක් වුණත් කමක් නැහැ
ඔරු පාරු නැව් ආදියේ ඉදිරිපස කොටසට කියනු ලබන්නේ ඇණිය කියාය. ඒවායේ පසුපසට කියන්නේ අවර කියාය. ඔරුවේ ඉදිරියෙන් ගියත් පසුපසින් ගියත් කමක් නැත.

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු - අයුක්තිය අසාධාරණය රජකරන කාලයේදී සිදුවන දේවල්

අත්තෙ අග ඉදලා මුල කැපුවා වාගේ - දැන දැනම මෝඩ ක්‍රියාවක් සිදු කර විපතට පත්වීම

අපායට ගියත් කලින් යා යුතුයි - කුමන කටයුත්තකදී වුවද ප්‍රමාද නොවී අප්‍රමාද විය යුතු බව

අළුයට සැගවුණු ගිනි පුපුරක් වාගේ - සිත්වල පවත්නා ඊර්ෂියා, ක්‍රෝධ ආදිය වරින් වර මතුව ඒම
බොහෝ පුද්ගලයන් එකිනෙකා අතර ඉතා සුහදශීලී බවක් පෙන්නුවද පරණ අමනාම කම්ද යටිසිත තුල සගවාගෙන සිටිති. ඇසුරු කරන අතරතුර යම්කිසි වරදක් සිදු වුවහොත් පැරණි අමනාපකම් සිහි කරමින් කරදර සිදු කිරීම ඔවුන්ගේ සිරිතය. එය අළු යට සැගවුණු ගිණි පුපුරක් සුලගට අසුවී ගිනි ඇවිලෙන්නා වැනිය.

අම්මා පෙවු රන්කිරි මතක් වුණා - ඉතා බරපතල කරදරයකට පත්වීම

 අදාල විෂය : සිංහල
ලියු දිනය : 2015-04-24
Facebook MyLikes කැමති ගණන 7
ප්‍රස්තාව පිරුළු 03

ප්‍රස්තාව පිරුළු

කඩුල්ලත් එක්ක අමුඩෙ ගැහුවා වාගේ - මෝඩ වැඩක් සිදු කිරීම
එක්තරා ගැමියෙන් සොරෙකු ලුහුබැද යන අවස්ථාවේදී කඩුල්ලකින් පැනයන විට ඔහුගේ අමුඩෙ ගැලවි ඇත. කලබලයෙන් හෙතෙම කඩුල්ල හරහා දමා තිබූ ලීයද සමගම අමුඩේ රෙදිපොට තදකර ගත්තේලු. ඒම නිසා එතැනින් ඉදිරියට යාමට නොහැකි වූ හෙයින් පසුපසින් ආ තවත් සොරෙකු විසින් තමන් අල්ලා ගන්නා ලදැයි සිතා මහ හයියෙන් කෑ ගහන්නට විය. ඒ හඩ ඇසී එතැනට පැමිණි මිනිසුන්ට එතැන සිදු වී ඇති දෙය වටහා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.  

ඉබ්බා අහසින් ගියා වාගේ - තමන්ට කර ගත නොහැකි ක්‍රියාවක් වෙනත් කෙනෙකු ලබා කරවා ගැනීම නිසා විපතට පත්වීම
කැලයේ එක්තරා විලක් අසළ ඉබ්බෙන් වාසය කලේය. මෙම විලට මාළුන් අල්ලා ආහාරයට ගැනීම සදහා හංසයන් දෙදෙනෙක් නිතර නිතර පැමිණියේය. ටික දිනක් ගතවන විට හංසයන් හා ඉබ්බා අතර මිත්‍රත්වයක් ඇතිවිය. නොබෝ දිනකින් ඉතාදැඩි නියං කාලයක් උදාවිය. මෙම විලෙහිද ජලය සිදී ගියේය. හංසයන් දෙදෙනා වෙනත් විලක් යොයාගෙන යාමට තීරණය කළේය. මෙහිදී මිත්‍ර වූ ඉබ්බාව හුදෙකලා කොට යාමට අකමැති වූ හංසයෝ ඔහුවද රැගෙන යාමට කල්පනා කළහ. එසේ කල්පනා කළද හංසයන් මෙන් පියාසර කිරීමට ඉබ්බන්ට නොහැකිය. එමනිසා ඉබ්බාව රැගෙන යාමට හංසයන් දෙදෙනා උපායක් කල්පනා කළහ. දිග කෝටුවක් රැගෙන ආ මෙම හංසයන් දෙදෙනා දෙකෙළවර තමාගේ තුඩින් අල්ලාගෙන ඉබ්බාගේ කටින් මැදින් අල්ලා ගන්න යැයි උපදෙස් දෙනු ලැබීය. ඉබ්බාද එයට එකග විය. එසේම තමන් පියාසර කරන අවස්ථාවේදී කිසිසේත්ම කට අරින්න එපා යැයි හංසයන් දෙදෙනා ඉබ්බාට පැවසීය. කතිකා කර ගත් පරිදි කෝටුවේ දෙකෙළවරින් අල්ලා ගත් හංසයන් දෙදෙනා ඉබ්බාට මැදින් එල්ලෙන්න යැයි පැවසීය. හංසයෝ ඉබ්බාද රැගෙන අහසින් පියාසර කරන්නට පටන් ගත්තේය. එක්තරා ගම්මානයක් උඩින් ඔවුන් පියාසර කරන අවස්ථාවේ සෙල්ලම් කරමින් සිටි ළමුන් පිරිසක් ඒ දැන “ඉබ්බෙක් අහසින් යනවෝ” යනුවෙන් කෑ ගසමින් අත්පොළසන්නාද දෙන්නට පටන් ගත්තේය. ළමයින් තමන්ට විහිළු කරවා යැයි සිතූ ඉබ්බා ඔවුන්ට බනින්නට සිතාගෙන කට ඇරියේය. ඒ සමගම ඉබ්බාව ගල් පර්වතයක් මතට වැටී මරනයට පත්විය. කට රැකගෙන නොසිටීමේ විපාක ඉබ්බාට අත්විදින්නට සිදුවිය.

ඉස්සරවෙලා ආපු කනට වඩා පස්සෙ ආපු අං ලොකුයි ලු - පැරණි නෑ මිතුරන්ට වඩා අලුතින් හමුවූ නෑ මිතුරන් උසස්‍ කොට සැලකීම

ඇත්ත කියන්නත් බිම ඉදගන්නත් කාගෙන්වත් අවසර ඕනෑ නැහැ - සත්‍ය ප්‍රකාශ කිරීමට බිය නොවිය යුතු බව
සත්‍ය ප්‍රකාශ කිරීම බිය වීමට හේතුවක් නොවේ. එසේම බිම ඉද ගැනීමටද කිසිවෙකුගෙන් අවසරයක් අවශ්‍ය නැත. උස් අසුනක සාමාන්‍ය පුද්ගලයෙකු වාඩිවී සිටියහොත් ප්‍රභූවරයෙකු පැමිණි විට අසුනෙන් නැගී සිටීමට සිදුවේ. නමුත් බිම වාඩිවූ කල්හි එසේ සිදු කිරීමට අවශ්‍ය නැත.

ඇතා ගිලපු දිවුල් ගෙඩිය වාගේ -  බාහිර ඔපය ඇතත් අභ්‍යන්තරය හිස්බව.
ඇතෙකු විසින් දිවුල් ගෙඩියක් ගිලිනු ලැබුවහොත් ඇතාගේ කුසේදී දිරවා පිට කටුව පමණක් ඉතිරි වෙතියි කියනු ලැබේ. ඇතාගේ මළ සමග දිවුල් ගෙඩිය පහවී යන නමුත් ඒතුළ ඇති මදය දිරවා ගොස් අභ්‍යන්තරය හිස්ය.

ඉහේ මලක් පිපුනා වාගේ - ‍බොහෝ සතුටට පත්වීම

උගුරට හොරා බෙහෙත් කනවා වාගේ - කිසියම් කටයුත්තක් නිසි පිළිවෙළකට නොකර යන්තම් සිදු කිරීම

උඩ පැන්නොත් බිම වැටේ - සෙස්සන්ට ආඩම්බර කම් පෙන්වීමට ගොස් විපත් සිදුවීම

උඩිත් හකුරු යටින් කතුරු - මතුපිටින් මිහිරක් පෙනෙතත් අභ්‍යන්තරයේ විපතක ලකුණු ඇති බව

උණ හපුළුවාට උගේ පුතා මැණිකක් ලු - කෙනෙකුට අනුන්ගේ කවර දයක් වුවත් පිළිකුල් වන අතර ඒ හා සමාන තමන්ගේ දේවල් අගනා බව

උණු කැවුම් වාගේ අලෙවි වුණා - බොහොම ඉක්මනින් අලෙවි වුණා

අදාල විෂය : සිංහල
ලිව්වේ : ගයාන් මධුශාන්ත 
ලියු දිනය : 2015-04-29
Facebook MyLikes කැමති ගණන 6
http://www.myschool.lk/ලිපි/ප්‍රස්තාව-පිරුළු-03/NTQ4

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය