කෝට්‌ටේ යුගයේ ශාස්‌ත්‍රීය නවෝදය

කෝට්‌ටේ යුගයේ ශාස්‌ත්‍රීය නවෝදය
ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ආරම්භය අනුරාධපුර යුගයේ දිග්සඳ සෙනෙවියා විසින් ආරම්භ කරන ලද දීඝසන්ද ප්‍රසාද පිරිවෙන වෙයි. මේ යුගයේදී අනුරාධපුර මහා විහාරය, අභයගිරිය සහ ෙ-තවන විහාරය අධ්‍යාපන කේන්ද්‍රස්‌ථාන වශයෙන් පැවතිණි. මධ්‍ය අනුරාධපුර යුගයේ පස්‌වැනි අග්බෝ (ක්‍රි. . 718 - 724) රජතුමාගේ කාලයේදී උතුරුමුළ, වාදුමුළ, කපුගම් පිරිවෙන, දෙමටමල් පිරිවෙන, අලගිරි පිරිවෙන, සත්නැලිය පිරිවෙන හා උතුරු පිරිවෙන යනුවෙන් පිරිවෙන් ආයතන හතක්‌ පැවැති බව පූජාවලියේ සඳහන් ය.

පොලොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු (ක්‍රි.. 1153 - 1186) රජතුමාගේ කාලයේ දී ආලාහන පිරිවෙන් සංකීර්ණය ඉදි කළහ. එම යුගයේ 'අෂ්ටමූලායතන' පැවැතිබව චූලවංශයේ සඳහන් ය. (1) උත්තරෝළ්හ ආයතනය (උතුරු මුළ) (2) මහානෙත්තපාසාද ආයතන (මහනෙත්පා මුළ) (3) කප්පූර - මූල ආයතනය (කපාර මුළ) (4) වාහකදීපක ආයතන (වහදු මුළ) (5) දක්‌ණ මූළ ආයතනය (දකුණු මුළ) (6) සේලත්තර මූල ආයතනය (ගලතුරුමුළ) (7) සරෝගාම මූළ ආයතනය (විල්ගම් මුළ) (8) සේනාපති මූළ ආයතනය (සෙනෙවිරත් මූළ) යනු එම පිරිවෙන් අධ්‍යාපන ආයතන වෙයි. ආරාමික පරිසරයක පිහිටුවා තිබූ මෙම සුප්‍රසිද්ධ ශාස්‌ත්‍රායතන ගිහි පැවිදි උභය දෙපිරිසම අධ්‍යාපනය හදාළ කේන්ද්‍රස්‌ථාන විය.

දඹදෙනිය හා කුරුණෑගල යුගවල ඇති වූ සාහිත්‍ය උන්නතිය දෙස බලන විට මෙරට පිරිවෙන් අධ්‍යාපනයේ මහිමය මොනවට පිළිබිඹු කරන සාධක ය. එහෙත් කෝට්‌ටේ යුගයට සම කළ හැකි පිරිවෙන් අධ්‍යාපන උන්නතියක්‌ හා ශාස්‌ත්‍රීය නවෝදයක්‌ වෙනත් යුගවල දැක ගැනීම අසීරුය. ලක්‌දිව ශ්‍රේෂ්ඨ පිරිවෙන් ආයතන රැසක්‌ද, ගිහි, පැවිදි බහුශ්‍රැත පඬිවරු රැසක්‌ සහ ඔවුන් අතින් ලියෑවුණු වටිනා ග්‍රන්ථ රැසක්‌ ද මේ යුගයේදී බිහිවිය. ඒ සඳහා මේ යුගයට අයත් ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයන් පස්‌දෙනකුගේ අනුග්‍රහය නොඅඩුව ලැබී ඇති බව පැහැදිලිය. එම රජවරුන් පස්‌දෙනා වන්නේ,

1. හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි. . 1412 - 1467)
2. දෙවැනි ජයබාහු රජු (ක්‍රි. . 1467 - 1469)
3. හයවැනි බුවනෙකබාහු රජු (ක්‍රි.. 1469 - 1480)
4. හත්වැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු (ක්‍රි.. 1480 - 1490)
5. අටවැනි වීර (ධර්ම) පරාක්‍රමබාහු (ක්‍රි.. 1490 - 1509)
6. හයවැනි විජයබාහු (ක්‍රි.. 1509 - 1521)

යන රජවරු කෝට්‌ටේ යුගය තුළ අනභිබවනීය රාජ්‍ය සේවාවක්‌ සිදු කළ බව පැහැදිලිය. මෙම රජවරුන් අතුරින් හයවැනි පරාක්‍රමබාහු රජතුමාට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. සිංහල රාජ වංශයේ අවසන් වරට මුළු ලංකාවම එක්‌සේසත් කළ පාලකයා වශයෙන් සැලකෙන්නේ හයවැනි පරාක්‍රමබාහු රජතුමා ය. මේ රජතුමා රජ බවට පත් වූයේ කුමන රජතුමාගේ ඇවෑමෙන් ද යන්න පවා පැහැදිලි නැත. ක්‍රි. . 1415 දී මෙතුමා අභිෂේක ලැබූ බව ග්‍රන්ථ වැඩි ගණනක සඳහන් ය. සමහර ග්‍රන්ථවල සඳහන් වන්නේ ක්‍රි. . 1412 දී රයිගම රජ කොට පසුව ජයවර්ධනපුර කෝට්‌ටේ අගනුවර කර ගත් බව ය. 'පැරකුම්බා සිරිත' නමැති ප්‍රශස්‌ති කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් කරන පරිදි මෙතුමාගේ මව සුනේත්‍රා මහා දේවිය බවත්, පියා ජයමහලෑන නමැති ප්‍රභූවරයකු බවත් සඳහන් ය. මේ ජයමහලෑන ගම්පොළ රජ පරපුරේ පස්‌වැනි පරාක්‍රමබාහු රජුගේ මුණුබුරෙකි. රාජාවලියේ එන විස්‌තරයකට අනුව වීර අලකේශ්වර චීනයට අල්ලා ගෙන ගිය අවස්‌ථාවේදී සුනේත්‍රා මහා දේවිය පරාක්‍රමබාහු කුමරු කැටුව වීදාගම විහාරය වැඳ පුදා ගැනීමට ගිය බවත්, ජයමහලෑන වීර අලකේශ්වරගේ නෑයෙකු විය යුතු බවත් ය. ඒ අනුව වීර අලකේශ්වරගෙන් පසු කෝට්‌ටේ පුරවරය ගොඩනැඟීමට මූලික වූ බවත් මේ තොරතුරුවලින් පැහැදිලිය. කෙසේ හෝ ගම්පොළ රාජධානි සමයෙන් පසු රයිගම නැවතී සිටි පරාක්‍රමබාහු කුමරු ජයවර්ධනපුර කෝට්‌ටේ පුරවරය ගොඩනගා අනභිබවනීය සේවාවක්‌ සිදුÊකිරීමට පසුබිම සකස්‌ කර ගත්හ. මේ යුගයේ බිහි වූ 'අෂ්ටමූලායතනවල ' ආරම්භය හයවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී සිදුව අත. එම පරිවේනස්‌ථාන වන්නේ,

1. තොටගමුවේ - විජයබා පිරිවෙන.
2. පැපිළියානේ - සුනේත්‍රාදේවී පිරිවෙන
3. වීදාගම - ශ්‍රී ඝනානන්ද පිරිවෙන
4. කෑරගල - පද්මාවතී පිරිවෙන
5. එරබත්තොට - ධර්මරාජ පිරිවෙන
6. උස්‌සාපිටිය - මහපාය පිරිවෙන
7. ගලතුරුමුල - ගලතුරුමුල පිරිවෙන
8. දෙවිනුවර - ඉරුගල්කුලතිලක ලංකා සෙනෙවිරත් පිරිවෙන

යන ආයතන විය. මෙයින් කෑරගල පද්මාවතී පිරිවෙන පිළිබඳව හංස සන්දේශයෙහි ද,තොටගමුවේ විජයබා පිරිවෙන පිළිබඳව ගිරා සන්දේශයෙහි ද විස්‌තර අන්තර්ගත වෙයි. මෙම පිරිවෙන් ආයතනවලට අමතරව කෝට්‌ටේ රජමහා විහාරය මෙකළ පැවැති ප්‍රධාන බෞද්ධාගමික කේන්ස්‌ථානය විය. මෙයට අමතරව බෙන්තොට ගලපාත විහාරය, වත්තල වනවාසය මේ යුගයේදී සංවර්ධනය කර ඇත. දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ආරම්භ කරන ලද සබරගමු මහ සමන්දේවාලය සවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී නැවත ප්‍රතිසංස්‌කරණය කරන ලදී. මේ කාලයේදී ම සඳගිරියේ අෂ්ටඵල බෝධි අංකුරයක්‌ රෝපණය කළ ස්‌ථානයේ ස්‌තූපයක්‌ කළ බව සඳගිරිය අවට ජනප්‍රවාදවල සඳහන් ය. මේ රජතුමාගේ මවු බිසව වූ සුනේත්‍රා මහා දේවිය සිහිපත් කිරීම සඳහා පැපිලියානේ සුනේත්‍රා මහාදේවී විහාරය හා පිරිවෙන මෙතුමාගේ විශේෂ අනුග්‍රහය යටතේ කරවන ලද්දකි. මෙහි නඩත්තුව සඳහා ගම්, බිම්, කෙත්වතු පූජා කළ බව සෙල්ලිපි හා සන්නස්‌වල සඳහන් ය. ජයවර්ධනපුර ඇතුළු නුවර රජමාලිගයට ආසන්නව මනහර දළදා මැඳුරක්‌ තනවා එහි දළදා වහන්සේ තැන්පත් කොට දෛනික ආවතේව කටයුතු කිරීමට සැලැස්‌වූ බවත්, රාජ්‍ය අනුග්‍රහය යටතේ දළදා පෙරහැර පැවැත්වූ බවත්, සැළලිහිනි සංදේශයේ සඳහන් පරිදි 'වඳු දළදා හිමි තෙමහල් පහය රැඳී' යන කාව්‍ය පාඨයෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ.

මේ යුගයේ වැඩ සිටි ශේ්‍රෂ්ඨ සංඝ පීතෲන් වහන්සේගේ අපරිමිත කැපවීම නිසා ම මෙම පිරිවෙන් ආයතන මුල් කරගෙන සාහිත්‍ය නවෝදයක්‌ ඇති විය. උත්තරමූලයට අයත් ෂඩ්භාෂා පරරමේශ්වර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය තොටගමුවේ ශ්‍රී විජයබා පරිවේනාධිපති තොටගමුවේ ශ්‍රී රාහුල නාහිමියෝ (ක්‍රි. . 1467 -1476) සංඝරාජ පදවිය ඉසුලූහ. මෙම යුගයේ මුල් අවධියේ වැඩ සිටි කෑරගල පත්මාවතී පිරුවෙන්පති ජයවර්ධනපුර වනරතන සංඝරාජයාණන් වහන්සේ (ක්‍රි. . 1415 -1425) මෙම යුගයේ සම්භව්‍ය අධ්‍යාපන ක්‍ෂේත්‍රයට මුලින්ම පිවිසුණු භික්‍ෂුන් වහන්සේ විය. එසේම පැපිලියාන විහාරාධිපති පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන්පති, ගලතුරුමුල මේධංකර සංඝරාජ (ක්‍රි. . 1460 - 1467) මහ සාමීන් ද එහි ම සංඝරාජ පදවියට පත් ශ්‍රී මංගල සංඝරාජයාණන් (මහාසාමි) වහන්සේ ද, (ක්‍රි. . 1489 - 1495) මෙම යුගයේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඉමහත් සේවයක්‌ සිදුÊකළහ. මෙම හිමිවරු සංඝරාජ පදවි හොබවා ආගම ධර්මයට සසුනට මෙන්ම ශබ්ද ශාස්‌ත්‍රයට ද හා කලාවට උපරිම සේවාවක්‌ සිදු කළහ.

මහානේත්‍ර ප්‍රසාද මූලයට අයත් වීදාගම මෛත්‍රෙය මාහිමි (ක්‍රි. . 1479 - 1489) තම ගුරු කුලය තුළ අභිමානයෙන් පෙනී සිටිමින් වීදාගම ශ්‍රීසංඝානන්ද පරිවේනාධිපති ධුරයෙහි නියමිත මෙහෙවර කාර්ය භාරයක්‌ ඉටු කළහ. විශ්ව කීර්තියට පත් ධම්මකීර්ති පරපුරේ අවසන් ශ්‍රේෂ්ඨ සංඝරාජයාණන් වහන්සේ වන ශ්‍රී සිද්ධාර්ථ දම්මදින්නවිමල කීර්ති ධම්මකීර්ති මාහිමි (ක්‍රි.. 1450 - 1460) සද්ධර්මරත්නාකරය ලිවීම අතිශය වැදගත් සිද්ධියක්‌ ලෙස පිළිගැනේ. කෑරගල පද්මාවතී පිරිවෙන්පති කෑරගල වනරතන මාහිමි (ක්‍රි.. 1489 - 1500) මෙම යුගයේ අවසන් සංඝරාජයාණන් වහන්සේ වශයෙන් ශබ්ද ශාස්‌ත්‍රයට අගනා මෙහෙවරක්‌ ඉටු කළහ. සාර්ව භෞම පාණ්‌ඩිත්වයෙන් අගතැන්පත් කීර්තිමත් මෙම සංඝරාජ පදවි හෙබවූ ශ්‍රේෂ්ඨ මාහිමිවරුන් හත් නම පමණක්‌ නොව මෙම යුගයේ එවක සිටි ගිහි පැවිදි අග්‍රගණ්‍ය විද්වත්හු අධ්‍යාපනය අතුළු ශාස්‌ත්‍රීය සේවාවට කැප වූහ. එවකට වැඩ සිටි අග්‍රගන්‍ය පැවිදි උතුමන්ගේ නාම මෙසේ දැක්‌විය හැකිය. 

1. එරබත්තොට ධර්මරාජ පරිවේනාධිපති නියදවත්තේ ඵුස්‌සදේව සුමංගල හිමි
2. ඉරුගල්කුලතිලක පිරිවෙන්පති බුවනෙකබා මහ තෙරණුවෝ
3. ගතාර පිරිවෙන්පති බුවනෙකබා මහ තෙරණුවෝ.
4. ශ්‍රී විජයබා පිරිවෙන නිවැසි කවීන්ද්‍ර වෑත්තෑවේ තෙරණුවෝ
5. රම්මුංගොඩ දීපංකර තෙරණුවෝ
6. අස්‌ගිරි ගණනායක සෝනුත්තර හිමි
7. අඹදෙනියේ කෝලිත හිමි
8. අරලුවැවේ සේනගුත්ත හිමි

මෙම යුගය ඔපවත් කළ අනෙකුත් භික්‍ෂුන් වහන්සේ වෙත්, මෙම අවධිය වන විට මෙරට පැවැති ථේරවාදී උපසම්පදා ක්‍රමයේ අඛණ්‌ඩතාව නීත්‍යනුකූල බව හා පාරිශුද්ධතාව පිළිබඳ කීර්තිය අග්නිදිග ආසියාතික රටවල ව්‍යාප්තව පැවැතිණි. මේ නිසා මෙරට පැවැති පිරිසිදු උපසම්පදාව ලබා ගැනීමේ අරමුණින් සියම් දේශයෙන් 33 දෙනකුගෙන් සමන්විත භික්‍ෂු කණ්‌ඩායමක්‌ වර්ෂ 1423 දී ජයවර්ධනපුරයට පැමිණ ඇත. එවක මෙරට මහාසාමි ධුරය ඉසුලූ ජයවර්ධනපුර වනරතන මාහිමියන් ඇතුළු කාරක සංඝයාගෙන් අලුතින් මහණ උපසම්පදාව ලැබ වර්ෂ1424 දී පෙරළා සිය රටට ගිය ඔවුහු එහි අලුත් ලංකා ශාසන වංශයක්‌ පිහිටුවූහ. එමෙන්ම වර්ෂ 1450 දී පමණ පහළ බුරුමයේ රාමCඳ්Cඳ දේශයේ 'මුත්තිම' නගරයේ ස්‌වණ්‌ණ සෝභන නම් වූ තෙරවරයෙකු මෙහි පැමිණ ජයවර්ධනපුර වනරතන මාහිමියන් උපාධ්‍යය කොට ගෙන ශ්‍රී රාහුල නාහිමියන් කර්මාචාර්ය කොට ගෙන මෙරට උපසම්පදාව ලැබ පෙරළා සිය රටට වැඩම කර ඇත.

වර්ෂ 1474 දී මෙරට මහා සංඝයා වෙතින් උපසම්පදාව ලබනු සඳහා බුරුමයේ ධම්මෙච්තිය රජු විසින් බුරුම භික්‍ෂු කණ්‌ඩායමක්‌ ලංකාවට එවන ලදී. මේ දූත පිරිස පැමිණෙන කාලයේ හයවැනි බුවනෙකබාහු නමින් රජ පැමිණ සිටි සපුමල් කුමරුට විරුද්ධව 'සීහල සංගය' නමින් කැරැල්ලක්‌ පැන නැඟී තිබිණ. කැරලි කලබල නිසා බුරුම දූත පිරිසෙන් වැලිගමට ගොඩබඩ කණ්‌ඩායමට අගනුවරට පැමිණිය නොහැකිව වැලිගම තුන් මසක්‌ පමණ කාලයක්‌ නතරව සිටින්නට සිදු වූ බව සඳහන් ය. හයවැනි බුවනෙකබාහු රජුට එරෙහිව පැවැති මෙම කැරැල්ල පිටුපස එවකට සංඝරාජ ධුරය හෙබ වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිටින්නට ඇතැයි අනුමාන කරනු ලැබේ. එසේ අනුමාන කළ හැක්‌කේ හයවැනි බුවනෙකබාහු රජුගේ අනුග්‍රහයෙන් වර්ෂ 1474 දී කල්‍යාණි සීමාවේ පැවැති බුරුම භික්‍ෂු උපසම්පදා උළෙලට තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ නාහිමියන් සහභාගි වී නැති හෙයිනි. මේ අවස්‌ථාවේ උපසම්පදා උළෙලේ මුලසුන හොබවා ඇත්තේ වීදාගම මෛත්‍රෙය මහා ස්‌ථවිරයන් ය. මෙම උත්සවය අවසානයේ බුqවනෙකබාහු රජතුමා විසින් උපසම්පන්න බුරුම භික්‍ෂුන්ට ලාංකික නම් දුන් බව සඳහන් වේ. පරාක්‍රමබාහු මහාසාමි,සිරි වනරතන සාමි, සිරි දන්තධාතු සාමි, සිරි මංගල සාමි ඒ නම් වලින් කිහිපයකි. බුරුම භික්‍ෂුන් එම රටට වැඩි පසු ධම්මෙච්තිය රජතුමා එම භික්‍ෂුන් මගින් එරට භික්‍ෂූන් උපසම්පදා කරවීම සඳහා සීමාමාලකයක්‌ කරවන ලදී. මෙරට කල්‍යාණි සීමාවේදී උපසම්පදා ලද භික්‍ෂුන් විsසින් සම්මත වූ හෙයින් එරට සීමාව ද කල්‍යාණි සීමා යනුවෙන් නම් කරන ලදී.

තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන්ගේ ඇවෑමෙන් වීදාගම මෛත්‍රෙය හිමියන් ද, ඉන් අනතුරුව පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙන්පති මංගල හිමියන්ද, මාහිමි ධුරය හෙබ වූ අතර, එම හිමියන්ගේ ඇවෑමෙන් කෑරගල පද්මාවතී පිරිවෙන්පති ශ්‍රී රාජගුරු වනරතන මාහිමියන් සංඝරාජ ධුරයට පත්ව තිබේ. හංස සංදේශයේ වර්ණනා කර ඇත්තේ එම වනරතන මාහිමියන් සහ පද්මාවතී පිරිවෙන වේ. දඹදෙනි යුගයේ පමණ සිට ආරම්භ වූ සංඝ පාලන සැලැස්‌ම මේ වන විට මැනවින් තහවුරු ව තිබිණි. පිරිවෙන් අධිපති හිමිවරු සහ ආයතනාධිපති හිමිවරු උභයවාස මහා ස්‌ථවිර දෙදෙනා වහන්සේ ඡන්දයෙන් තේරුණු අතර රජුගේ අනුමැතියෙන් එම පත්වීම නීත්‍යනුකූල විය. බහු නායකත්වය ශාසන විලෝපයට හේතු වන නිසා ග්‍රාමවාසී හා වනවාසී මහ තෙරවරුන් දෙදෙනා වහන්සේ හැරුණු විට වෙනත් කිසිවෙකු මහතෙර නොවිය යුතු බවට දඹදෙණි කතිකාවතින් පනවා තිබුණු නීතිය මේ වන විට ඒ අයුරින් ම ක්‍රියාත්මක වී නැති බව පැහැදිලිය. මෙම යුගයට අයත් මූලාශ්‍රවල එකම කාලයේ වැජඹුණු මහ තෙරවරුන් දෙදෙනකුට වැඩි ගණනක්‌ සඳහන් වන නිසාය.

චිරාගත අෂ්ටමූලායතන අතරින් මහනෙත්පාමුළ, ගලතුරුමුළ, උතුරුමුළ, විල්ගම්මුළ යන සතරායතන පිළිබඳව මේ වකවානුවේ නිතර තොරතුරු ලැබේ. අනෙක්‌ මූලායතන පිළිබඳ වැඩි තොරතුරු නොලැබේ. ග්‍රාමවාසී භේදය මේ වන විට තරගකාරී මුහුණුවරකින් මතු වී ඇත. ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ ව ගිරා සන්දේශයේ එන තොරතුරු තුළින් ග්‍රාමවාසී සම්ප්‍රදාය ද, කෑරගල පද්මාවතී පිරිවෙන තුළින් වනවාසී සම්ප්‍රදාය ද. සංසන්දනාත්මකව ඉදිරිපත් වී ඇති බව ඉතිහාසඥයන්ගේ මතය යි. ජයවර්ධනපුර කෝට්‌ටේ යුගය තුළ මෛත්‍රෙය හා නාථ බෝධිසත්ත්ව වන්දනා ක්‍රමය ප්‍රචලිතව පැවැත්තේය. උපුල්වන්, සුමන සමන්, විභීෂණ, කතරගම යන සිවුවරම් දෙවිවරු රට හා ශාසනය ආරක්‍ෂා කරන ප්‍රධාන දෙවිවරු බවට පත්ව සිටියහ. ඊශ්වර දෙවියන්, ගණදෙවියන් සහ කතරගම ස්‌කන්ධ කුමාර දෙවියන් සඳහා වූ කෝවිල් අගනුවර හා ඈත පෙදෙස්‌වල බෞද්ධ විහාරාරාම ආශ්‍රයේ පැවැති අතර ඒවා සිංහල බෞද්ධයන්ගේ පුද සත්කාරවලට පාත්‍ර වෙමින් පැවතිණි. මෙසේ සලකා බලන විට මෙරට බෞද්ධ ශිෂ්ටාචාරය තුළට බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර වැනි ප්‍රධාන පෙළේ හින්දු දෙවිවරුන් ද, ශාසනාරක්‍ෂක දෙවිවරුන් වශයෙන් බුදු දහමට ඇතුළත් කරගෙන ඇත.

මේ යුගයේ විසූ බහුශ්‍රැත පඬිවරුන් අතර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි, වීදාගම මෛත්‍රෙය මාහිමි සහ කෑරගල වනරතන මාහිමි ප්‍රමුඛස්‌ථානයක්‌ ගත්හ. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ ඇමැති මණ්‌ඩලයේ මිණිසන්නස්‌ ඇමති ධුරය හෙබවූ ද, එතුමාගේ බෑණා කෙනකු වූ ද. නන්නූරුතුනයර් ඇමැති මෙවක සිටි ගිහි ග්‍රන්ථ කතුවරයෙකු විය. එමෙන් ම තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍ය ඉන්දියාවේ ගෞඪ දේශීය රාමචJද්‍රභාරතී මේ යුගයේ විසූ ශ්‍රේෂ්ඨ සංස්‌කෘත පඬිවරයෙකි. එතුමා බුද්ධ ගද්‍යය ආශ්‍රයෙන් භක්‌තිශතකයත්, වුත්තමාලාව ආශ්‍රයෙන් වෘත්ත මාලාඛ්‍යාවත් ශ්‍රී රාහුල හිමියන්ගේ රචනාවන්හි වෘත්තයන්ගේ පරිමිත ශ්ලෝක සමුදාය කියවා වෘත්තරත්නාකර පංචිකාවත් ලියා එවක පැවැති පිරිවෙන් අධ්‍යාපනයට මහඟු සේවාවක්‌ ඉටු කළේය.එතුමා විසින් විජයබා පිරිවෙනෙන් ලබා ගත් සමයාන්තර ඥනෝප ලබ්ධිය අසම සම වූවකි. ඔහුගේ භක්‌ති ශතක බෞද්ධ කාව්‍යයෙන් එය සනාථ වන අතර, ඒ නිසාම මහරජු විසින් ඔහුට 'බෞද්ධාගම චක්‍රවර්ති' යන ගෞරව උපාධිය පිරිනමන ලදී. චෝල වංශික පනික්‌කි පඬිතුමා වංශවත් ද්‍රවිඩ ජාතිකයෙකු වුවද, ශ්‍රේෂ්ඨ විද්වත් බෞද්ධ නායකයකු වශයෙන්, පැවැති අධ්‍යාපන ක්‍ෂේත්‍රයට විශිෂ්ට සේවාවක්‌ කරන ලදී. අතිශය ජනප්‍රිය 'එළු සිලෝ ශතකය' ලියා නව අංගයක්‌ සිංහල සාහිත්‍යයට එකතු කළේය.


කෝට්‌ටේ යුගයේ පැවැති ක්‍රමානුකූල පිරිවෙන් අධ්‍යාපන පරිපාටිය අනුව ගිහි පැවිදි දෙපක්‍ෂයටම අධ්‍යාපනය ලබා දුන් ආයතන විය. මෙම ආයතනවල සිංහල, පාලි, සංස්‌කාත. ප්‍රාකෘත, දෙමළවැනි භාෂා මෙන් ම කාව්‍ය, නාටක. ජ්‍යෙdතිශාස්‌ත්‍රය වැනි ලෞකික විෂයන් ද උගන්වන ලද අතර ප්‍රධාන ම විෂය වූයේ ත්‍රිපිටක බුද්ධ ධර්මයයි. සංස්‌කෘත පොත පත ආශ්‍රයෙන් මහායාන බෞද්ධ දර්ශනය ද උගන්වන ලද අතර, බෞද්ධ ඉගැන්වීම් ක්‍රම අනුව ගිහි පැවිදි දෙපක්‍ෂයේ ම ශිෂ්‍යයන්ට හික්‌මීමක්‌ සහිත සංයමයක්‌ ලබාදීම මෙම පිරිවෙන් ආයතනවල මූලික පරමාර්ථවලින් එකක්‌ විය.

සිංහල පද්‍ය රචනය කෝට්‌ටේ යුගයේ වඩාත් ජනප්‍රිය සාහිත්‍යංගය විය. සත්තුභත්ත ජාතකය පදනම් කර ගෙන ශ්‍රී රාහුල මාහිමියන් විසින් ලියූ කාව්‍යශේඛරය සිංහලයේ දෙවැනි මහා කාව්‍යය යි. ගුත්තිල ජාතකය පදනම් කරගෙන වෑත්තෑවේ හිමියන් විසින් ලියූ ගුත්තිල කාව්‍යය සරල බසින් රචිත අගනා කාව්‍යයකි. වීදාගම මෛත්‍රෙය හිමියන්ගේ බුදුගුණාලංකාරය සහ ලෝවැඩ සඟරාව බුදුගුණ සහ බුදු දහම සරල සිංහල පද්‍ය මගින් පොදු ජනතාව අතරට ගෙන යැමට දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක්‌ වේ.

සිංහල පද්‍ය සාහිත්‍යය පෝෂණය වීමෙහි ලා මේ යුගයේ ලියෑවුණු සන්දේශ කෘති බෙහෙවින් උපස්‌ථම්භක විය. ශ්‍රී රාහුල මාහිමියන්ගේ පරෙවි සන්දේශය සහ සැළලිහිණි සන්දේශය ද කර්තෘ අවිනිශ්චිත ගිරා සන්දේශය හා හංස සන්දේශය ද, කෝට්‌ටේ යුගයට අයත් සන්දේශ කාව්‍ය වේ. හයවැනි පරාක්‍රමබාහු රජුගේ ශ්‍රේෂ්ඨත්වය හා ප්‍රතාපවත් ප්‍රෙෘඪත්වය වර්ණනා කිරීම සඳහා ලියන ලද පැරකුම්බා සිරිත ප්‍රශස්‌ති කාව්‍යයකි. වීදාගම මෛත්‍රෙය මාහිමියන් ලියූ කවි ලකුණු මිණි මල් නමැති ග්‍රන්ථය ඡන්දස්‌ ශාස්‌ත්‍රය විස්‌තර කෙරෙන කාව්‍යමය ග්‍රන්ථයකි. මේ යුගයේ අධ්‍යාපනයේ විශේෂ විෂයයක්‌ වශයෙන් පිළිගත් නිඝණ්‌ඩු විෂය භාෂාන්තර හා විෂයාන්තර පරිඥානය ඇති උගතෙකු විසින් ම සම්පූර්ණ කළ යුතු විය. පද්‍යමය සිංහල නිඝණ්‌ඩුවක්‌ (ශබ්ද කෝෂයක්‌) වන රුවන් මල හයවන පරාක්‍රමබාහු රජු විසින් ම රචිත කෘතියක්‌ ලෙස සැලකේ. මෙයින් පෙනී යන්නේ මේ රජතුමාගේ පරිනත සාහිත්‍ය ඥානයයි. තවත් එබඳු ම කෘතියක්‌ වන පුරාණ නාමාවලිය රජුගේ බෑණා වූ නන්නූරුතුනයාර් ඇමැතිගේ රචනයකි.

සිංහල ගද්‍ය සාහිත්‍යය කෝට්‌ටේ යුගයේදී එතරම් දියුණුවට පත් වූ බවක්‌ නොපෙනේ. හයවැනි පරාක්‍රමබාහු රජුගේ මුල්කාලයේදී ධම්මදින්න විමලකීර්ති මහ ස්‌ථවිරයන් විසින් ලියන ලද සද්ධර්මරත්නාකරය නමැති ගද්‍ය කෘතිය සංස්‌කෘත ශබ්ද බහුල භාෂා ශෛලියකින් ලියෑවුණකි. දඹදෙනි යුගයේ ලියෑවුනු පාලි හත්ථවනගල්ල විහාරවංශයේ තවත් සිංහල අනුවාදයක්‌ ඇත. එය වීදාගම මාහිමියන් විසින් කථික ව උන්වහන්සේගේ ශිෂ්‍යයකු විසින් ලියන ලද්දකි. මොග්ගල්ලාන ව්‍යාකරණයට අර්ථ විවරණයක්‌ වශයෙන් ශ්‍රී රාහුල මාහිමියන් අතින් රචිත පCඳ්චිකා ප්‍රදීපය ද මේ යුගයට අයත් ගද්‍ය කෘතියක්‌ වශයෙන් සැලකිය හැකිය. පාලි සාහිත්‍යය සම්බන්ධයෙන් සැලකිය යුතු දියුණුවක්‌ කෝට්‌ටේ යුගයේදී ඇති වූ බවක්‌ නොපෙනේ. මේ යුගයට අයත් එකම පාලි කෘතිය ශ්‍රී රාහුල මාහිමියන් විසින් මොග්ගල්ලානව්‍යාකරණය මුල් කරගෙන ලියන ලද පද සාධන ටීකාව යි.

කෝට්‌ටේ යුගයේ දී ලියෑවුණු සංස්‌කෘත ග්‍රන්ථ කිහිපයක්‌ ද ඇත. බුද්ධ භක්‌ති ගීත සියයක්‌ ඇතුළත් භක්‌ති සතකය රම්මුංගොඩ දීපංකර හිමියන්ගේ ජීවන චරිත කථාව වූ වෘත්ත මාලාඛ්‍යාව සහ සංස්‌කෘත කාව්‍යකරණයට උපදේශ ග්‍රන්ථයක්‌ වූ වෘත්තරත්නාකරයට ව්‍යාඛ්‍යානයක්‌ හෙවත් අර්ථ විවරණයක්‌ ලෙස ලිවූ වෘත්තරත්නාකර පක්‌ඳිචිකා යන සංස්‌කෘත භාෂාමය කෘති තුනම කලින් සඳහන් කළ ශ්‍රී රාචJද්‍ර භාරතී නම් බ්‍රහ්මණ පඬිවරයාගේ කෘතීන් ය. මේ හැර සංස්‌කෘත ශබ්ද බහුල භාෂාවකින් රචිත සිංහල වෙද පොත් තුනක්‌ වූ වෛද්‍ය චින්තාමනී, භෛෂජ්‍ය සංග්‍රහය. යෝගරත්නාකරය යන කෘති ද කෝට්‌ටේ යුගයට අයත් ය. කෝට්‌ටේ යුගයේ විසූ ශ්‍රේෂ්ඨ පඬිවරුන්ගේ අනුග්‍රහය මත ඉදි වූ පිරිවෙන් ආයතන සහ ඔවුන් අතින් ලියෑවුණු විශිෂ්ට ග්‍රන්ථ දෙස බලන විට සිංහල සාහිත්‍ය වංශයේ උච්චතම අවධිය මෙම යුගය බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකිය.

ආශ්‍රේය මූලාශ්‍ර ග්‍රන්ථ :-
1. අපේ සංස්‌කෘතික උරුමය (1) - (1965) මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ප්‍රකාශනයකි.
2. ශ්‍රී ලංකාවේ ඉතිහාසය (11) - (1995) අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
3. බන්දුසේන ගුණසේකර (සං) - (1979) ගුත්තිල කාව්‍යය ඇම්. ඩී. ගුණසේන සමාගම.
4. ඩී. සී. රණවක (සං) (1962) 'බුදුගුණාලංකාරය' අනුලා මුද්‍රණාලයේ ප්‍රකාශනයකි.
5. . වී. සුරවීර (සං) (33, 34) පරි, (1961) පූජාවලිය, ඇම්. ඩී. ගුණසේන සමාගම.
6. ගුණපාල සේනාධීර (සං) (1979) ලෝවැඩ සඟරාව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
7. ආර්. පෙරේරා - හංස සන්දේශ විචාරය, රත්න පොත් ප්‍රකාශකයෝ.
8. බුදුගුණාලංකාරය (1978) අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
9. කිරිඇල්ලේ Cඳණවිමල (හිමි) (1960) සිරි රහල් හිමියන්ගේ කාව්‍යශේකරය, ඇම්. ඩී. ගුණසේන සමාගම.
10. මැන්දිස්‌ රෝහණදීර (1978 ජයවර්ධනපුර සංඝරාජ පරපුර, කර්තෘ ප්‍රකාශනයකි.
11. මැන්දිස්‌ රෝහණදීර (2002) සාංඝික දේපළ තරංජි ප්‍රින්ට්‌ස්‌, මහරගම.
12. අයි. බී. විමලවංශසූරිය (ප්‍රධාන - සං) (1996) සම්භාෂා චතුර් මාසික අධ්‍යයන සංග්‍රහය, කලාප - 7 'පිරිවෙන් අධ්‍යාපනයේ ආවේණික ලක්‍ෂණ හා එහි කාර්යභාරය' ලිපිය ඇසුරිනි.


දයානන්ද බිනරගම

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය