විමලරත්න කුමාරගම

වන්නියට පෙම් බැඳි කුමාරගම කිවිඳු 24 ජුනි, 2017 0 Facebook Twitter Email උදේනි සරත්චන්ද්‍ර සත්මඩල                                                                    කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් ප්‍රතිභාසම්පන්නම කවියා ලෙස විමලරත්න කුමාරගම කිවිඳුන් පාඨක විචාරක සම්භාවනාවට පාත්‍රව ඇත. එකල රාජ්‍ය සේවයේ සම්භාවනීය තනතුරක්වූ ඩී.ආර්.ඕ. (ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරි) සේවාවට 1942 දී ඇතුළත්වූ එතුමා 1962 දෙසැම්බර් මස 30 වන දින වයස අවුරුදු 43 දී මියෙනතුරා සේවය කළ කාල පරාසය තුළ වැඩියෙන්ම සේවය කළේ අනුරාධපුර, ආණමඩුව, මහියංගනය, මහව වැනි වියළි කලාපයේ කර්කෂ ප්‍රදේශවලය. උපතින්ම ආරෝහ පරිණාහ දේහයෙන් යුතු දැකුම්කලු තැනැත්තෙකූවූ ඔහුගේ හදවත වඩාත් සුන්දර විය. ඒ නිසාම වන්නියේ ගැමි ජනතාව සමඟ සමීපව පයුරු පාසනයේ යෙදෙමින්, ඔවුන්ගේ දුක් සුසුම් විඳිමින් වන්නියේ සැබෑ ජීවිතය මැනවින් ග්‍රහණය කර ගනිමින්, ඔහු විසින් රචිත කාව්‍යාවලීින් මඟින් විශදවන්නේ මානව දයාවෙන් පිරුණු ඔහුගේ සැබෑ අධ්‍යාත්මයයි. වන්නියට පෙම්බැඳි කුමාරගම කිවිඳුන්ගේ කාව්‍ය රචනා සඳහා වස්තු විෂයවූ අත්දැකීම් ඔහු පිරිනමා ඇත්තේ ගැමි ජනතාව වෙත ඉමහත් දයානුකම්පාවෙන් යුතුවය. ඉංග්‍රීසි ජාතික ආණ්ඩුවේ ඒජන්තවරයකු වූ ලෙනාඩ් වුල්ෆ් මෙන්ම කුමාරගමද වන්නියට ආදරය කරමින් ඔවුන්ගේ ජීවිත විදාරණය කළේය. වන්නි ජනතාවගේ ජන ජීවිතය මෙන්ම මහ පොළොව, ගහකොළ, සතාසිව්පාවුන් පිළිබඳව මනා දැනුමෙන් හා වැටහීමෙන් රචිත කාව්‍ය රචනා මඟින් ඔහු පළකරන නිසඟ කුසලතාව සහ ධීශක්තිය අපගේ අවධානයට බඳුන් කිරීම මෙහිදී අදහස් කෙරේ. විමලරත්න කුමාරගම කිවිඳුන් විසින් වන්නිය කේන්ද්‍ර කරගෙන රචනා කර ඇති කාව්‍ය රචනා අතර, අයියනායක, ආරච්චිරාළ, හේරත්හාමි, සුන්දරහාමි, ආගන්තුක සත්කාරය, වන්නිගේ දොස්තර, හරක් හොරා, වන්නියේ සැන්දෑව, වලස් දඩයම, වන්නියේ මල්, ගමේ වැව, යන්තම් බේරුණා, සිරගෙය, කවුද ගෙදර, ආදාහනය වැනි නිර්මාණ කැපී පෙනේ. “අයියනායක” කවි පෙළ තුළින් විශදවන්නේ සාගත වසංගත හා නියඟ යන ව්‍යසනයන්ගෙන් පීඩා විඳින ජනතාවට සහනය පතා වන්නියට අධිපති අයියනායක දෙවියන් වෙත බාරහාරවී දෙවියන් පිදීමයි. කාව්‍ය රචනාව ආරම්භ වන්නේ පහත සඳහන් පද්‍යයෙනි. “සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ මල කා කළුව ගිය ආයුද කැබලි පෙනේ දෙවියෙක් නැත ද මෙහි බලයක් තිබෙනු දැනේ (අයියනායක) අයියනායක දෙවියන් අදහමින් සංහිඳ ළඟ බාරයට කිරි උතුරුවමින්, කෙම්මුර දවස් වල පහන් පත්තු කරමින්, වන අතු කඩා ගස් දෙබලක දවටමින් ගැමියන් සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර කුමාරගම කිවිඳුන් දුටුවේ ඔවුන්ගේ බුද්ධියට නිගා නොදෙමින්, කිසිවිටෙකත් ඔවුන්ගේ ඇදහිලි විශ්වාස සමච්චලයට බඳූන් නොකරමින් උපේක්ෂාවෙන් යුතුවය. “වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත ගනඳූර වසන විට ආලෝකයෙහි නෙත සඳරැස් ගලන විට තෙරපී සෙවන මත එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත (අයියනායක) දැඩි අඳුරින් යුතු සඳරැස් ගලන වනපෙත මළහිරු රැසින් රත්පැහැ ගැන්වෙනවිට එක දෙවියෙකුට නොව දෙවියන් දහසකට ඉඩකඩ සලසයි. මෙහිදී කවියා භාවිතා කර ඇති උපමා උපමේය සරල බස් වහර තුළින් පාඨකයා තුළ චිත්තරූප මවයි. “වැද මළ හිරුගෙ රත” යන වදන සාකල්‍යාර්ථයෙන්ම අවස්ථාවෝචිතය. එමඟින් ඔවුන්ගේ ඇදහිලි කෙරෙහි විශ්වාසය ජනිත කරවයි. “ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන අහුමුලු නෑර සිය අණසක පතුරු වන බලවත් අයියනායක දෙන ගොදුරු ගෙන මේ අය රකිනු මැන යන එන සියලු තැන (අයියනායක) වන ලැහැබ් පිරි පරිසරයක අණසක පතුරුවන අයියනායක දෙවියන්ගෙන් පිහිට ප්‍රාර්ථනා කරන්නේ කවියාද ගැමි විඥානයට අනුගතවූවකු ලෙසිනි. “හේරත්හාමි” කවි පෙළින් කවියාගේ මානව භක්තිය සහ දයානුකම්පාව මැනවින් පිළිබිඹු කරයි. “අලියා වැටුණු වැව සිටි හේරත් හාමි මා වැනියකු වුව ද මම වැදගත් වීමි මිනී කපන මුත් ඒ හේරත් හාමි ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑමි (හේරත්හාමි) හේරත්හාමිගේ ජීවන චරිතය විදාරණය කරන කවියා ඔහුගේ යහගුණයන් මෙන්ම දුර්ගුණයන්ද හෙළි කරයි. මිනී කපන හේරත්හාමි කුමාරගම කිවිඳුන් මෙන් ඉහළ තනතුරක් දරන්නෙකු නොවුවද ඔහුට වඩා දැහැමිබව පැවසීම මිනිස්කම රැදී ඇත්තේ දැන උගත්කම්වල නොව නිර්මල හදවතක බැව් කියාපාන්නකි. “අවනත සිනා රැළි වත නිතරම පතුරයි හැම වදනක් ම අවිහිංසක බව මතුරයි හැමදා වගේ හවසට බොන ගිනි වතුරයි ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි” (හේරත් හාමි) හේරත්හාමි පුරුද්දට “ගිනිවතුර” බීවද ඔහුගේ “හදවත” කරුණා ගුණයෙන් පිරිලාය. සැබැවින් ඔහු හිත හොඳ මිනිසෙකි. මෙම කවි පෙළ අවසන් කරන පද්‍යය තුළින් ඔහු අයියනායක දෙවිඳුන් කෙරෙහි ඇති බැති සිත විදහාපායි. “නූපන් නිසා දනවත් මහරු පායක පන්සල වෙතට යයි හැම විටම පෝයක අලුතෙන් හැදුව වෙහෙරට ඔහුද දායක ඊටත් වඩා සලකයි අයියනායක” (හේරත් හාමි) ගැමි ජනතාව පන්සල වෙතින් අාධ්‍යාත්මික ගුණ වගාවත්, දෙවියන් වෙතින් ජීවිත ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරයි. “අයියනායක” යනු වන්නියට අධිපති ඔවුන්ගේ සියලු දෛනික කටයුතු වලදී පිහිටපතන දෙවිඳුන්ය. ඒ නිසාම “අයියනායක” දෙවියන් කෙරෙහි වියළි කලාපීය ගැමි ජනතාව දක්වන්නේ ඉමහත් භක්තියකි. ‘ආරච්චිරාළ’ කවි පන්තිය තූළින් එකල ගම් ප්‍රධානියාව සිටි ආරච්චිරාල පිළිබඳ කදිම චිත්‍රයක් මැවීමට කූමාරගම කිවිඳු සමත් වේ. ඒ සඳහා ඔහු යොදා ගන්නා ව්‍යංග්‍යාර්ථවත් බස් වහර බලනු මැනවි. “අලියා වැටුණු වැව ආරච්චි රාළට මුවමස් ඌරුමස් භිඟ නොමැත කෑමට මුළු ගංගොඩම හිටියත් ඔහුගේ වාලට ඔහු වැඩිපුරම බය ලොකූ සයිබු නානට ” (ආරච්චිරාළ) රාජකාරිය දේවකාරියක් මෙන් ඉටුකළ යුතු ආරච්චිරාළ ගැමි ජනතාව බියවද්දමින්, කුරහන් හා වියෙන් ආඪ්‍යව සිටියත්, ඔහු තුළ කිසියම් බියක්ද ජනිතව ඇත. එසේ වන්නේ ඔහුගේ අකටයුතුකම් පිළිබඳ කිසියම් පැමිණිල්ලක් ඉහළ නිලධාරීන්ට යොමු කරාවි යන සැකයෙනි. “මොහුගේ මහඟු සේවයෙ හැටි මෙයට වැඩී යම් කිසි විටක හරකකු තැබූ පසුව වෙඩී නැගගෙන හරක් හොරුගේ කර උඩට දැඩී පස්සා කකුල් දෙක ඔහුගේ ගෙයට වඩී” (ආරච්චිරාළ) මහඟු සේවය පිළිබඳ ප්‍රශංසාත්මක වදන් පැවසුව ද “වඩී” යන ධ්වනිතා්රථවත් වදනින් ගම්‍ය වන්නේ සදය සිනහවකි. උපහාසයකි. “වී බූසලකට සිතූවොත් කුඹුරකුදු ගනී රුපියල් දෙකක් දෙන විට පස් වරක් ගනී සමහර විටදි ඉදිකඩ වැට උඩින් පනී අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී” (ආරච්චිරාළ) ආරච්චිරාළගේ සටකපටකම් හෙළි කරන මෙම කවිපෙළ තුළින් ආරච්චිරාළගේ සැබෑ ස්වරූපය මැනවින් පිළිඹිඹු කිරීමට කවියා සමත් වෙයි. “ආගන්තුක සත්කාරය” හිසින් එන කාව්‍යාවලිය “සුන්දර හාමි” කේන්ද්‍ර ගතකර රචිතය. කුමාරගම කිවිඳුන් සුන්දරහාමි හඳුන්වා දෙන්නේ මෙලෙසිනි. ‘ගන් තුන තුලානේ අලියා වැටුණු වැවේ සුන්දර හාමි එතරම් පොහොසතෙක් නොවේ තුන් ලාහකම බිම වැඩ කර දියෙන් වැවේ රන් වන් කරල් බරවී දැන් බිමට නැවේ” (ආගන්තුක සත්කාරය) කවියා ඔහුගේ ගමට ගිය දින සුන්දර හාමි මිදුලේ තැඹිලි ගසින් ගෙඩියක් කඩා පිළිගැන්වූ පසු ඒ සඳහා ශත පනහක් දුන්විට එය ප්‍රතික්ෂේප කිරීම ගැමියන්ගේ අව්‍යාජත්වය සහ ආගන්තුක සත්කාරය පිළිබිඹු කරන්නකි. “ආගන්තුකව එන කෙනෙකුට පුරුදු නැතී හිතවත් කමින් සැලකුම යුතුකමය සිතී ඔහුහට මුදලකින් මා කළ හැටිය තුතී සිහිවී මගේ කම්මුල රතු පැහැය ගතී (ආගන්තුක සත්කාරය) කුමාරගම කිවිඳුන් විසින් රචිත සත්ත්ව කරුණාව දක්වන කාව්‍ය රචනා අතුරෙන් “සිරගෙය” ”යන්තම් බේරුණා” සහ “වලස් දඩයම” යන කාව්‍ය රචනා ගෙන හැර දක්වමි. “සිරගෙය” කාව්‍ය රචනයට වස්තු විෂයවී ඇත්තේ නියං සමයක දිය සොයායන ඇතින්නියක් හා පැටවෙක් ගල්වළක වැටී ඉන් පිටතට යා නොහැකිව හත් දවසක්ම උගුලට අසුව ඇතින්නිය මියයාමේ පුවතකි. මෙම සිදුවීම කවියා චිත්‍රණය කරන්නේ මෙවදන් වලිනි. “නුග අතු ඇහැටු දළු ගෙන එන විටදි ළඟා එළවා ගතී වියරුව පැන සොඬය නඟා හත් දවසක්ම මේ දුක්මුසු රැඟුම රඟා ඈ බැරි තැන වුණා ඒ වළ තූළම දිගා (සිරගෙය) ඇතින්න මළ පුවතින් කම්පාවට පත්වන කවියාගේ පශ්චාත්තාපය කූළු ගැන්වෙන සැටි බලනු මැනවි. “ඒ මළ ඇතින්නට මුළු සතියකම දුක ඇති වූයේ මුගෙන් බව පැහැදිලිව දැක මුළු ලෝකයට ඉඩ දුන් මා ළයෙහි රැක ඇති කරුණාව ගැන මට තව තිබෙන සැක” (සිරගෙය) “යන්තම් බේරුණා” කවිපෙළ මඟින් නාඹර මුවදෙනක් වැදි කොලුවෙකුගේ වෙඩි පහරින් මියගිය අයුරුත්, ඇගේ පැටවුන් මව්පෙමින් හඬනා අයුරුත්, කවියා නිරූපණය කර ඇත්තේ අප හදවත් සසල කරවමිනි. “සටනක වගේ වෙඩි හඬ ගෙය දෙසින් ඇසේ මම දිව ගියෙමි වැව සිට තෙත පිටින් හිසේ දැඩිසේ ගොරවමින් දුක් බැල්මකින් ඇසේ නාඹර මුව දෙකන් වැට ළග හෙමින් නැසේ (යන්තම් බේරුණා) යසෝදරාවත සිහිපත් කරන පහත දක්වා ඇති කවිය කවිපෙළ අතරට සිවු වතාවක් එක් කිරීමෙන් ඇති කෙරෙන්නේ මව් සෙනෙහස පිරි දයානුකම්පාවකි. “ඉර පායා ඉර මුදුනට එන්ට එපා හඳ පායා හඳ මුදුනට එන්ට එපා දිවි නරි පිඹුරු කටකට කැප වෙන්ට එපා අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා (යන්තම් බේරුණා) කුමාරගම කිවිඳුන් “වලස් දඩයම” කාව්‍ය රචනයේ සමාරම්භයේදීම දඩයම්කරුවන්ගේ ව්‍යායාමය හඟවන්නේ මෙලෙසිනි. “පූලයි මායි පලු ගස් දෙබලක මැස්සේ සයිමා සමග කඩියා කැටවල අස්සේ අඳුරේ හැම හඬට මගෙ හදවත ගැස්සේ අඬ හඳ පලුව වන රොද මුදුනට ඉස්සේ (වලස් දඩයම) දරු දෙදෙනෙකු සහිත වැලහින්නක බව නොදැන වෙඩි තැබීම නොසිතූ විරූවකි. “හදිසිෙය දුටුමි කළුවක් වැවවෙත ඇදෙන වැලහින්නියක්ය ඇය පසුපස දුරු දෙදෙන යන්තම් ඇසුණි හඬ පැටවුන් දිය අදින කැටවල තුළින් එකෙණෙහි වෙඩි හඬ නැගිණ” (වලස් දඩයම) වෙඩි වැදීමෙන් අසරණවූ වැලහින්න සිය පොඩි පැටවුන් සමඟ කැලයටම ඇදී ගියේය. මෙම සංසිද්ධියෙන් කම්පාවට පත් කවියා එදවස පටන් හැසිරෙන්නේ මෙලෙසිනි. ‘දරුවන් දකින විට සිය මෑණියන් නැති ඒ හැම දෙනම මගෙ ළඟ නෑසියන් වෙති. (වලස් දඩයම) වන්නියට පෙම්බැඳි කුමාරගම කිවිඳුන් වන්නියේ පරිසරයට මහත් සේ ඇලුම් කළේය. එනිසාම පරිසරය ඇසුරෙන් රචිත කාව්‍ය රචනා තුළින් චමත්කාරය ජනිත කිරීමට ඔහු සමත් විය. “වන්නියේ සැන්දෑව” ඔහු නෙත ගැටෙන්නේ ස්වාභාවික පරිසරයේ විසිතුර සමඟ සත්ත්ව ලෝකය බද්ධ කරමිනි. “හිරු රැස් විඩාවෙන් පීඩිත කෙසෙල් වතු සනසා පවන නළවයි දලු රිකිලි අතු මළහිරු කිරණ සිප ගෑවුණ පරිදි ලතු රන්වන් වුණා පළුගස්වල මහලු පොතු” “මැඩියෝ අඬති පෙරළුෑ නව කුඹුරු මඩින් බස්සෝ ඉගිළ යති නිහඬව හිසට උඩින් වවුලෝ පියාඹති මී ගෙඩි රැගෙන තුඩින් ඈ කිසිවිටෙක තැති ගත්ත ද මෙවැනි හඬින්” (වන්නියේ සැන්දෑව) පරිසරය ඇසුරින් කුමාරගම කිවිඳුන් විසින් රචිත මෙබඳු කාව්‍ය රචනා තුළින් විශද වන්නේ සුන්දරත්වයත්, නාඹර යුවතියන්ගේ මන්දාහාසයත්ය. “වන්නියේ මල්” තුළින් කවියා ඕලු,නෙලුම්,මානෙල් ආදී පුෂ්පයන් දියමත රැඟුම් දෙන අයුරු සිත්තම් කරන්නේ චමත්කාරය දනවමිනි. කුමාරගම කිවිඳුන් එම කවි පෙළ අවසන් කරන්නේ කවියාගේ හදවතෙභි වන්නියේ මල් පිපී බැව් විචිත්‍රව පවසමිනි. “මළ හිරු අලෙවි දෙන වන පෙත හිසට රත දිය රළ වළලු සිඹ සිඹ දෙයි අතට අත ලොව මා විතර කර දුනමුදු අමුතු මත වන්නිය මල් පිපී මා හදවතෙහි ඇත (වන්නියේ මල්) විමලරත්න කුමාරගම කිවිඳුන් වන්නි ජනතාවගේ බලාපොරොත්තු, විශ්වාස හා ඇදහිලි මෙන්ම දුක හා සතුටද මැනවින් අවබෝධ කරමින්, වන්නි ජනතාවගේ මුවගට හුරු වදන්, උපමා උපමේය යොදා ගනිමින්, ව්‍යංග්‍යාර්ථ ධ්වනිතාර්ථ වලින් යුත් සරල, සුගම බස් වහරක් උපයෝගි කර ගනිමින්, රචිත කවි තුළින් වන්නි් ජීවිතයේ යථාර්ථයත්, ඒ හා බැඳි පරිසරයත් සිත්තම් කර ඇත්තේ මානව දයාවෙන් පිරි හදවතකිනි. විමලරත්න කුමාරගම යනු කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් කවීන් අතර ප්‍රතිභාසම්පන්න වූත්, අග්‍රගණ්‍ය වුත්, විශිෂ්ටතම කිවිඳුන් බැව් සඳහන් කළ මනාය. අදහස් Your name  කාරණය  Comment *   SAVE රසඳුන    සල්පිල මයික්‍රොසොෆ්ට් ආමාත්‍යාංශ ‍2ක් සමග ගිවිසුමක  මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කිරීම සදහා විදුලි සංදේශ... පුන්කලස සම්මා­න­යක් කියන්නේ ලේඛ­ක­ය­කුගේ කාර්ය­භා­රය ඇග­යී­මක්  සමාජය අගයන, ජනප්‍රිය වී තිබෙන හා නිවැරදි යැයි සිතන යම් යම්... ළමා අපේ පොසොන් දන්සල  වෙසක් මාසේ ඉවර වුණු දිනේ සිට පොසොන් දිනය උදා වනතෙක් අප ඇඟිලි... මේ සතිය ඔබට කොහොමද?      ක්‍රීඩා මුල් පිටුව ක්‍රීඩා මරණවලට තිත තියමු එක්දින පිටියේ වැඩිම ලකුණු වාර්තාව එංගලන්තයට තීරු ලිපි උසස් රාජ්‍ය නිලධාරීන්ට ආචාරධර්ම පද්ධතියක් තිබේද? ‘වතුර’ කාගේ ප්‍රශ්නයක්ද? විශේෂාංග දකුණු ආසියාවේ දිගම උමඟ හදන උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය ජල රකුසා සමඟ පොරබදා ජීවිත බේරා ගත් අවුරුදු 78 මාතර වීරයා පොසොන් සඳට හොරෙන් අනුරපුරයට එබෙන අඳුරු සෙවණැලි සල්පිල සල්ලි බාල්දු කරන අය ළඟ සල්ලි රැ‍ඳෙන්නෙ නැහැ සිංගර් ශ්‍රී ලංකා Intel NUC විශාලම පරිගණක අලෙවිය සිදු කරයි රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපෘති රටට අවුලක් නැතිව සැලසුම් කරන හැටි  ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ. editor.silumina@lakehouse.lk අප අමතන්න:(+94) 112 429 429 අංශ සිරස්තල පුවත් විදෙස් ක්‍රීඩා පුන්කලස සල්පිල තීරු ලිපි කතුවැකිය විශේෂාංගය දේශපාලනය SECTIONS 2 ළමා රසඳුන සත්මඬල වටපිට අභාවයන් සුබ මංගලම් පසුගිය කලාප වෙත E-Paper කතරගම ලේක්හවුස් විශ්‍රාම ශාලාව යාපනය , කතරගම බස් සේවය පුවත් පත් Daily News දිනමිණ தினகரன் Sunday Observer தினகரன் வாரமஞ்சரி රැස Observer Education පෙට්ටගම Adz Observer Jobs ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම © 2018 සියළුම හිමිකම් ඇවිරිණි. We use cookies on this site to enhance your user experience By clicking any link on this page you are giving your consent for us to set cookies. OK, I agree No, give me more info

Comments

Popular posts from this blog

සාහිත්‍ය යුග-

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

දඹදෙණි සාහිත්‍ය යුගය