ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය--අනු/ඤාණෝදය පිරිවෙනේ ආචාර්ය, පූජ්‍ය තියඹරාහේනේ ඤාණරතන හිමි

ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය


                ආරාම මුල්කරගත් අධ්‍යාපන ක්‍රමයේ බුදු දහම මානව ශිෂ්ටචාරයට උරැම කොට දෙන අගනා දායාදයකි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සමුදාය සමාජීය පුද්ගලයා තුළ මෙන් ම තමා ජීවත් වන ලෝකය පිළිබද ව පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දෙන ඉගැන්වීමකි.බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී ප්‍රථම වරට පස්වග මහණුන්ගෙන් ආරම්භ වුණු බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ශතවර්ෂ ගණනාවක් තිස්සේ ගමින් ගමට, නගරයෙන් නගරයට, රටින් රටට, ජනපදයෙන් ජනපදයට ව්‍යාප්ත විය.මෙම බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ව්‍යාප්ත කිරීමේදී භික්ෂූන් වහන්සේ මූලිකත්වය ගෙන ක්‍රියා කළහ. මෙම බෞද්ධ ඉගැනිවීම් සම්ප්‍රදාය ධර්මාවබෝධය ලබනු කැමති තැනැත්තන් වෙත ගොස් ඔවුන්ට ධර්මය පිළිබද අවබෝධය ලබා දුන් අධ්‍යාපන ක්‍රමවේදයක් විය.පස්වග මහණුන්ගෙන් ආරම්භ වූ මෙම අධ්‍යාපන ක්‍රමවේදය ඉන්දියාවේ විවිධ භික්ෂු ආරාම වල ව්‍යාප්ත වී දියුණු විය. මෙම අධ්‍යාපන ක්‍රමවේදයේ උච්චතම අවධිය හැටියට සැළකිය හැක්කේ ලෝකයේ ප්‍රථම වතාවට භික්ෂූන් වහන්සේ මුල් කරගෙන විශ්ව විද්‍යාල බිහිවීම ය. ඒ අනුව නාලන්දා,වික්‍රමශීලා,ජගන්දලා,ඕදන්තපුරි ආදී විශ්ව විද්‍යාල බිහිවන්නේ මේ භික්ෂූන් වහන්සේලා මූලික කරගත් අධ්‍යාපන රටාව තුලිනි.



මිහිදු මහරහතන් වහන්සේගේ ආගමනය තුළින් ලක්දිව ආරාමික අධ්‍යාපනය ආරම්භ විය.මෙයින් පසු මෙම ආරාමික අධ්‍යාපනය ගම් නියම්ගම් පුරා ව්‍යාප්ත වීමෙන් ජාතියට ආගමට මහත් සේවාවක් සිදුවිය. මහාවංශය ආදි මූලාශ්‍ර වල අනුරාධපුර මහා විහාරයෙහි ”පරිවෙණ ” හෙවත් ”පිරිවෙණ ” නමින් හැදින්වූ භික්ෂූ වාසස්ථාන සියගණනකුත් රෝහණයේ තිස්ස මහා විහාරයෙහි එබදු පරිවෙණ හෙවත් පිරිවෙන් සියගණනකුත් තිබූ බවට තොරතුරු ලැබී ඇත.මෙහිදී පරිවෙණ නමින් හැදින්වූයේ භික්ෂූන් වහනසේගේ වාසය සදහා ඉදිවූ කුටියක් බව පැහැදිලි ය. මෙසේ පිරිවෙණ භික්ෂූ වාසය සදහා කුටියක් වුවද එය හුදු වාසස්ථානයක් ම නොව භික්ෂූන් වහන්සේ බුද්ධ ධර්මය හදාරණ ධර්මය ප්‍රගුණ කරන මධ්‍යස්ථානයක් ද විය. මූලාශ්‍ර වල සදහන් වන ආකාරයට පරිවෙණ යන්න මුල පටන් ම අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වූ බව නිගමනය කළ හැක. අනුරාධපුර යුගයෙහි තිබු මහාවිහාර පිරිවෙණ, මයුර පිරිවෙණ,කාලපාසාද පිරිවෙණ වැනි භික්ෂු වාසස්ථාන අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස පෙන්වා දිය හැක.මෙලෙස මහාවංශයෙහි සදහන් වන අධ්‍යාපනික මධ්‍යස්ථාන මෙසේ වර්ග කළ හැකිය.
  1. මහාවිහාර පිරිවෙණ
  2. මයුර පිරිවෙණ
  3. කාලාපාසාද පිරිවෙණ
  4. අභයගිරියේ උත්තරෝළ්හ පිරිවෙණ
මහාවංශයේ සදහන් වන ආකාරයට මෙලෙස අනුරාධපුර යුගයේ මුල් පිරිවෙන් වල මූලික වශයෙන් සිදු වූයේ ත්‍රිපිටකය හා අර්ථ කථා ඉගනීම, ප්‍රගුණ කිරීම හා සජ්ඣායනා කිරීම වැනි අධ්‍යාපනික කටයුතු ය. ධර්මය ඉගෙනගෙන මතක තබාගෙන යළි යළිත් අනුස්මරණය කරමින් ඒ අනුව සිය ජීවන ප්‍රතිපදාව සකස් කරගෙන එමගින් තම විමුක්තිය ලබා ගැනීඹ භික්ෂූන් වහන්සේගේ ප්‍රධාන අරමුණ ලෙස හැදින්විය හැක. එසේ ම දහම් චාරිකාවේ යෙදෙමින් තමන් අවබෝධ කරගත් ධර්මය අනුන්ට අවබෝධ කරවීම ද භික්ෂූන් වහන්සේගේ කාර්ය විය. මෙි සදහා ගුරුවරයෙකුගේ මගපෙන්වීමක් අවශ්‍ය විය. පිරිවෙණින් සිදුවූයේ ගුරුවරයාගේ මගපෙන්වීම අනුව පිරිවෙණේ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේ ධර්ම විනය හා සකළ ශබ්ද ශාස්ත්‍රවල නිපුණත්වයක් ලැබීමයි.
මෙලෙසෙ ධර්ම විනය කටපාඩමින් ගුරු ශිෂ්‍ය පරම්පරාවෙන් පවත්වාගෙන ආ නමුත් ලක්දිව දේශපාලන බලපෑම් මත මෙම අධ්‍යාපන රටාවට ද කිසියම් අභියෝගයක් එල්ල විය. වළගම්බා රාජ්‍ය සමයේ දොළොස් අවුරුද්දක් තිසසේ පැවති තීය බමුණා විසින් ඇති කරන ලද බැමිණිතියා සාගතය හේතු කොට ගෙන ධර්මය කටපාඩමින් රැකගෙන ආ සමහර භික්ෂුන් එම සාගතයට අසුව විනාශ විය.සමහර භික්ෂුන් විදේශ ගත විය. සමහර  අය ගුරු පරපුරෙන් තමන්ට අයත් ව තිබූ දහම් කොටස් කටපාඩමින් රැකගෙන ආහ. දොළොස් වසරකින් පසු සාගතය අවසන් වී විදේශ ගතව සිට පැමිණි භික්ෂූන් හා දුක සේ ජිවිතය රැකගත් භික්ෂූන් එකතු වී ධර්මය ග්‍රන්ථාරූඪ කළ යුතු යැයි කතිකා කර ගත්හ. මෙලෙස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම සදහා තෝරාගනු ලැබුවේ එවකට ථූපාරාම විහාරයේ වැඩසිටි කුන්තගත්තතිස්ස තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් වළගම්බා රජතුමාගේ අනුග්‍රහයෙන් මාතලේ අළු ලෙනේ දී ධර්ම විනය සංගායනා කොට ග්‍රන්ථාරූඪ කරන ලදී.
මෙම ග්‍රන්ථාගත සංගායනාව ඉතිහාසයේ භික්ෂු අධ්‍යාපනය නව මගකට යොමු කිරිමට සමත් විය.මෙතෙක් කලක් කටපාඩමින් රැගෙන ආ එම අධ්‍යාපන ක්‍රමවේදය ධර්මය ග්‍රන්තාරූඩ කිරීමෙන් ලේඛණ කලාවත් සමග ගමන් කරන අධ්‍යාපන රටාවක් බවට පරිවර්ථනය විය. මුල් කාලයේ පිරිවෙන් අධ්‍යාපනය භික්ෂූන් වහන්සේලා පමණක් ධර්මය කටපාඩමින් රැකගෙන ඒමේ සම්ප්‍රදායක් විය. එය එසේ වුවද ආරාම මුල් කරගත් මෙම අධ්‍යාපන ක්‍රමය භික්ෂුන් වහන්සේලාටම සීමා නොවී ය. බුදු රජාණන් වහන්සේගේ උපදේශය වූයේ “චරථ භික්ඛවේ බහුජන හිතාය බහුජන සුඛාය….“ ගම් දනව් සැරිසරමින් බොහෝ ජනයාට ධර්මාවබෝධය ලබා දීම වුව ද මහින්දාගමනයත් සමග ම ලංකාද්වීපයෙහි ආරාම ඉදිවීම හේතුකොටගෙන ආරාමික අධ්‍යාපනය පොදු අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස එය භාවිත කෙරුණි.පොදුජනයාගේ සුභසිද්ධිය උදෙසා ආරාම මුල් කරගෙන ධර්මශාලා ඉදිවිය. මෙම ධර්ම ශාලා ඇසුරින් පොදු ජනයාට ඉගැන්වීම සදහා විශේෂ භික්ෂූ පිරිසක් පුහුණු වූහ. ඒ පිරිස විෂය වර්ග කොට දැක්විය හැකිය.
1.ධර්ම කථික-ධර්මය පිළිබද දේශනා කළ පිරිස
2.පද භාණක-ධර්ම පාඨ වචනයක් පාසා විස්තර කරන පිරිස
3.දිවා කථික-දිවා කාලයේ ධර්මය උගන්වන පිරිස
4.භාණක පරම්පරා-ත්‍රිපිටකය පාඩම් කළ පිරිස
ආරාමික අධ්‍යාපනයේ සුවිශේෂි කාලපරිච්ඡේදය ලෙස කෝට්ටේ රාජ සමය හැදින්විය හැක.මෙකල ග්‍රාමවාසි හා වනවාසි ලෙස පිරිවෙන් වර්ග විය.ඒ අතර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති තොටගමුවේ විජයබා පිරිවෙණ ග්‍රාමවාසි භික්ෂුන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථානය විය.එසේම වනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කෑරගල පද්මාවතී පිරිවෙණ වනවාසී භිකෂූන්ගේ අධ්‍යාපන ආයතනය විය. එසේ ම වීදාගම මහා මෛත්‍රී හිමියන් යටතේ ශ්‍රී ඝණානන්ද පිරිවෙණ ද, කෝකිල සංදේශය ලියූ හිමියන් යටතේ දෙවුන්දර ඉරුගල්කුල තිලක පිරිවෙණ ද කොට්ටේ යුගයේ තිබූ දීප්තිමත් අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකකි.
කෝට්ටේ යුගයේ පිරිවෙන් අධ්‍යාපනයේ ඉගැන්වූ විෂයන් අතර ‘‘විනය‘‘ අධ්‍යයනය කිරීම අනිවාර්ය වී තිබූ බව පෙනේ.සිකවළද හා සිකවළද විනිස, සමන්තපාසාදිකාව, විනයකර්ම, විනය විභංග ආදි පොත්පත් සදහන් වීමෙන් ඒ බව මනාව පිළිබිඹු වේ. ගිරා සංදේශයේ ‘මුල්සිඛ සිකවළද විමසන සග ගණය‘‘ යන පද්‍ය පරීක්ෂා කිරීමෙන් ඒ බව තවත් තහවුරු වේ.මෙම යුගයේ කැපී පෙණුනු තවත් අංගයක් වූයේ උපාධි ප්‍රධානත්වයයි. තෙවලා වදනසුරු (ත්‍රිපිටක වාගීශ්වර), ෂඩ්භාෂා පරමේශ්වර ආදි උපාධි නාමයන් මෙකල භාවිත වූ බව පෙනේ. එසේ ම ඡන්දස් අලංකාර, තර්ක ශාස්ත්‍රය,නක්ෂස්ත්‍ර වෛද්‍ය ශාස්ත්‍ර වැනි විෂයන් ද කෝට්ටේ යුගයේ පිරිවෙන් වල උගන්වා ඇත. කෑරගල පද්මාවතී පිරිවෙණ මෙම විෂයන් ඉගැන්වුවද මේ විෂයන් ගිහියන් පමණක් හදාළ යුතු විෂයන් ලෙස උන්වහන්සේ ප්‍රකාශ කළහ. ගිංරා සංදේශ කාව්‍යයට අනුව තොටගමුවේ විජයබා පිරිවෙණේ ගිහි ශිෂ්‍යෙයෝ පමණක් වෛදය විද්‍යාව හදාරා ඇත.මෑතක් වන තුරුම පිරිවෙනේ වෛද්‍ය ශාස්ත්‍ර ඉගැන්වුවද එය හැදෑරුවේ ගිහි ශිෂ්‍යයන් පමණි.
දහසය වන සියවසේ මෙරට පැමිණි පෘතුගීසීන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයට අහිතකර තත්වයක් උදා විය. කෙසේ වුව ද මහනුවර යුගයේ පහළ වූ වැලිවිට සංඝරාජ හිමියන් මෙම බටහිර අධිරාජ්‍යවාදීන් නිසා අඩපණ වූ අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කරවි ය.ඒ අනුව නියමකන්දේ අධ්‍යාපන මධ්‍යස්ථානය, පැල්මඩුල්ලේ අධ්‍යාපන මධ්‍යස්ථානය විශේෂ විය.මෙම අධ්‍යාපන මධ්‍යස්ථාන වල අධ්‍යාපනය හැදෑරූ වළානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන්, රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ ආරමභ කළහ. මෙම අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යාපනය හැදෑරූ ශ්‍රී සුමංගල නාහිමියන් 1873 දී විද්‍යේදය පිරිවෙනත්, රත්මලනේ ධම්මාලෝක නාහිමියන් 1875 දී විද්‍යාලංකාර පිරිවෙනත් ආරම්භ කරන ලදී. මෙම විද්‍යායතන බිහිවීමත් සමග ම ලක්දිව වර්තමානය දක්වා පිරිවෙන් අධ්‍යාපනය ඉතා ශීඝ්‍ර ලෙස සංවර්ධනය වූ බව පෙනේ.
අනු/ඤාණෝදය පිරිවෙනේ ආචාර්ය,
පූජ්‍ය තියඹරාහේනේ ඤාණරතන හිමි

Comments

Popular posts from this blog

සමාන වචන අන්තර්ජාල උපුටා ගැනීම්

සාහිත්‍ය යුග-

දඹදෙණි සාහිත්‍ය යුගය