උම්මග්ග ජාතකය පිරිවෙන් 3 වසර
උම්මග්ග ජාතකය
පන්සිය පනස් ජාතක පොතෙහි එන පළමුවන
කතාව අපණ්ණක ජාතකය වන අතර පන්සිය තිස් අට වෙනි කතාව උම්මග්ග ජාතකය යි. උමඟ යනු
පොළොව යටින් කණින ලද මාර්ගය යි. උමඟක කතාවක් ඇතුළත් වන නිසාත්, බෝසතුන්ගේ ප්‍රඥා
පාරමිතාව ඉස්මතු වන නිසාත් මෙය එනමින් හඳුන් වන බව විචාරකයෝ කියති. ජාතක පොත
ලිවීමට ප්‍රථමයෙන් උම්මග්ග ජාතකය නමින් වෙනම ම කෘතියක් ලියැවුණු බව ද පසුව
ලියැවුණු පන්සිය පනස් ජාතක පොතට එම කථාව එලෙසම ඇතුළත් කර ලද බව ද කියැවේ.
උම්මග්ග ජාතකය ලියු කාලය හා කතුවරයා
කුරුණෑගල යුගයේ හතරවැනි පැරකුම්බා රජු
දවස, එනම් දාහතර වැනි සියවසේ දී රජුගේ රාජ සභාවේ ඇමතිවරයෙකු වූ පරාක්‍රම නැමත්තාගේ
ආරාධනයෙන් වීරසිංහ ප්‍රතිරාජ නම් ඇමතිවරයා විසින් ලියන ලද බවට මතයක් පවතී. කෙසේ හෝ
පන්සිය පනස් ජාතකය ලිවීමට පෙර උම්මග්ග ජාතකය ලියැවුණු බව සැලකේ.
උම්මග්ග ජාතකය ලිවීමට අරමුණ
ජාතක කතාකරුවන්ගේ පොදු අරමුණු වූයේ
සාරධර්ම ගුණ වගාවෙන් පිරිපුන් යහපත් පුද්ගලයන්ගෙන් හෙබි ධාර්මික ජන සමාජයක් බිහි
කිරීම ය. මේ සඳහා කතුවරයා කතාව විකාශනයේදී ජනී ජනයා හට කිසියම් උපදේශයක් ද දීමට
අමතක නො කරයි. කෙලින් ම නොකිවද අත්හළ යුතු දේ හා පිළිපැදිය යුතු දේ අනුගමනය කළ
යුතු දේ වටහා දෙන ජිවිත විඥානයක් මේ කතා තුළින් හෙළිදරව් කරයි. අවශ්‍ය උපදේශයන්
එයින් උකහාගෙන ජන ජිවිතය සකස් කර ගැනීමට හා කුසල් සිත් දියුණු කර දෙලො වැඩ සැලසීමට
මෙයින් මග පෑදේ.
උම්මග්ග ජාතකය කියැවීමේ දී මීටත් වඩා
පුළුල් පරමාර්ථයක් ද දිස් වන්නේය. එනම් බෝසතුන්ගේ ප්‍රඥා පරමාර්ථයක් ද දිස්
වන්නේය. එනම් බෝසතුන්ගේ ප්‍රඥා පාරමිතාව ඉස්මතු කොට දැක්වීමය. ප්‍රඥාව යනු තුන්
කල් පිළිබඳ ව වැටහෙන නුවණයි. එවැනි ප්‍රඥාවක් පහළ වන්නේ බෝසත් උත්තමයෙකුට ය.
බුදුවරයෙකුටය. මුළු උමංදාව ම විකාශනය වන්නේ මහෞෂධයන්ගේ අසහාය වූ ප්‍රඥා මහිමය
කේන්ද්‍ර කොට ගෙනය.
තත්කාලීන බමුණු මතවාද උපහාසයට ලක්
කිරීම ද, උමංදාවේ අවශේෂ අරමුණක් සේ පෙනේ. කේවට්ට, සේනක, පුක්කුස, කාවින්ද යන වියත්
බමුණන්ගේ ක්‍රියා කලාපය නිරූපණය වන්නේ උපහාසය හා හාස්‍ය රසය දනවමිනි. බෝසත් චරිතය
ඉස්මතු කොට දැක්වීම සඳහා එම චරිත මනා සේ උපයෝගී කරගනී.
පාඨක ශ්‍රාවක සමාජය තුළ පහත් සංවේගය හා
බුද්ධාලම්භන ප්‍රීතිය ඔද වැඩීම ද තවත් පරමාර්ථයක් සේ පෙනේ. එසේ ම සාහිත්‍ය
කෘතියකින් ලැබිය හැකි රසවින්දනය ද අපේක්ෂා කරන්නට ඇත. ජාතක පොතට පෙර ලියන ලද ධර්ම
ප්‍රදීපිකාව, සසදාවත, මුවදෙව්දාවත, කව්සිළුමිණ, අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය,
වැනි කෘතීන්ගෙන් නොලත් ප්‍රඥා ගුණය උපායශීලී ඥානය හා සාහිත්‍ය රසය දීර්ඝතම ජාතක
කතාවකින් ලබා දීමට ද කතුවරා බලාපොරොත්තු වන්න ඇත.
උම්මග්ග ජාතකයේ කතා සාරය
·
වර්තමාන කතාව
බුදුන් වහන්සේ සැවැත් නුවර
ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි එම විහරවාසී භික්ෂූන් වහන්සේලා සැඳෑ කාලයෙහි
දම්සභා මණ්ඩපයෙහි රැස්ව බුදුන් වහන්සේ වඩනා පෙර මග බලා වැඩ සිටින අතර සාකච්ඡාවෙහි
යෙදී සිටිය හ. එහි මාතෘකාව වූයේ “බුදුන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාවේ මහිමය කෙතරම්
ද යන්නයි. “ එතැනට වැඩි බුදුහු මෙතෙක් ඔවුන් සාකච්ඡා
කරමින් සිටියේ කුමන කරුණක් පිළිබඳ ව දැයි සුපුරුදු පරිදි ඇසූහ. එවිට ප්‍රස්තුත
කාරණය ඉදිරිපත් කෙරිණි. තමන් වහන්සේ “ මතු පමණක් නොව, මෙම සර්වඥතා ඥානය
ලබාගැනීම් වස් පාරමී දම් පිරු භවයන්හි දී ද, ප්‍රඥා මහිමයෙන් යුක්ත වූම්හ ‘ යි බුදුහු පැවසූහ. මෙහි දී “මතු පවතින ප්‍රඥාව පිළිබඳව තමන් දන්නා
හෙයින් භවාන්තරයෙන් වැසී තිබෙන්නා වූ ප්‍රඥා මහිමය පිළිබඳ ව වදාරන්නැ යි එම
භික්ෂූහු බුදුන් වහන්සේට ඇරයුම් කළහ. එවිට මෙම ප්‍රඥා පාරමිතා පූර්ව වූ උම්මග්ග
ජාතකය දේශනා කළ සේක.
අතීත කතාව
එක් ආත්ම භවයක දී බෝසතාණන් වහන්සේ
උතුරු දඹදිව් තලයේ මියුළු නුවර වාසල් දොරින් නැගෙනහිර යව මැදුම් ගම නිවැසි
සිරිවඩ්ඩන සිටුවරයාට හා සුමනා දේවියට පුත්‍රව උපන්හ. සෑම බෝසත් උපතක්ම සුවිශේෂී
අවස්ථාවක් විය යුතු හෙයින්, සක්‍ර දෙවිවේන්ද්‍රයෝ මව් කුසින් බිහිවන විට ම. මේ
කුමරුන් අත සඳුන් කැටයක් තැබූහ. එය උරගා ගෑ විගස සියලු නිදන්ගත රෝග නසන මහා ඖෂධයක්
වූ හෙයින් කුමරුට මහෝෂධ යන අර්ථාන්විත නම් තැබිණි.
මෙවකට මියුළු නුවර රජ වූයේ වේදේහ නම්
රජ ය. මහෞෂධ කුමරු මව් කුස පිළිසිඳ ගත් දින ම රජු අමුතු සිහිනයක් දිටීය. සේනක,
පුක්කුස, කාවින්ද, දේවින්ද යන රජුගේ පඬිවරු සතර දෙන රජුගේ සිහිනය පිළිබඳ නැකැත්
ශාස්ත්‍ර බලා කීවේ ඉතා පින්වත් කුමරෙකු මතු උපදින බවත්, ඔහු තමන් හතර දෙනාට
පස්වැනි ව පණ්ඩිත තනතුරු ලබන බවත් ය. කාලයාගේ වන අයුරු පෙණිනි. රජු ඇවෑමෙන් මහෝෂධ
උත්පත්තිය පිළිබඳ ව ඇසූ රජුට සිහිනය සැබෑවන කුමරා ගැන ඉතා සැලකිලිමත් විය.
මහෞෂධයන් උපන් දින ම. තවත් ආශ්චර්යවත්
සිදු වීමක් විය. එනම් එදින ම, එම ප්‍රදේශයෙහි තවත් ගෙවල දරුවන් දහසක් මව් කුසින්
බිහි වීමයි. ඔවුන් ද මහෝෂධයන් සමග දෙව්ලොවින් චුතව අවුත්. මේ ගම මව්වරුන් කුස තුළ
පිළිසිඳ ගත් අයයි. මොවුන් වැඩුණේ කෙළි සෙල්ලම් කළේ එකටමය. එසේම මහෝෂධයන්ගේ
නායකත්වයෙන් ආශ්චර්යමත් වැඩ ද කළහ.
සත් හැවිරිදි වියෙහි දීම විශාල ක්‍රීඩා
පිටියක් තනවා නැවත එහි විසිතුරු ශාලාවක් ද, උයනක් ද, පොකුණක්ද තනවා සුභ සාධන
කටයුතු ද කරන්නට වන්නෝය. මහෞෂධයන්ගේ නැණ නුවණ විමසීම සඳහා වේදේහ රජු නොයෙක් ගැටළු
හා ප්‍රශ්න ඉදිරිපත් කෙළේ ය. මහෞෂධයෝ ඒවා ඥානාන්විත ව විසඳුවා පමණක් නොව, මහජනයාගේ
ගැටළුද විසඳා සිය ප්‍රඥා මහිමය දස දෙස පතළ කළෝ ය.
මහෞෂධයෝ සොළොස් හැවිරිදි වියෙහි දී
රාජ්‍ය සේවයට බැඳී පුරෝහිත තනතුරින් පිදුම් ලැබරාජ්‍ය පාලන කටයුතු සියල්ල කරට
ගත්හ.
උදුම්බරා දේවියගේ උපදෙසින් අමරා දේවිය
හා විවාහය ද සිදු විය. ප්‍රඥා මහිමය හා දුර දක්නා නුවණ ද උපාය කෞශල්‍යය ද මෙහෙයවා
මියුළු නුවර සියලු සමෘද්ධියෙන් පිරිපුන් කොට, ආරක්ෂා සංවිධාන තර කර අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ
කටයුතු නිම කොට විශිෂ්ට චරපුරුෂ සේවයක් හා විශිෂ්ට පණිවුඩ හුවමාරු ක්‍රමයක් ද
උපයෝගී කොට ගෙන ක්‍රමවත් සංවිධානාත්මක පාලන තන්ත්‍රයක් ගෙන ගිය හ.
මේ අතර උත්තර පංචාල නුවර චූලනි බ්‍රහ්මදත්ත
රජු හා කේවට්ට නම් පුරෝහිත බමුණු දිග් විජය උදෙසා සතර කමන්ත්‍රණයක් කළෝ ය. එහි
පළමු වන කොටස වූ එක් සියයක් රටවල් රජුන් හා සේනාව උපක්‍රමයෙන් අවනත කර ගත්ත ද
මන්ත්‍රණයේ දෙවැනි කොටස වූ එක් සියයක් රජ දරුවන් වස මිශ්‍ර රා පොවා මරා දැමීමේ
සාපරාධී මිනිස් ඝාතනය ව්‍යර්ථ කරන්නට මහෞෂධයෝ සමත් වූහ.
නැවතත් බ්‍රහ්මදත්ත රජු එක්සියයක්
රජුන් හා අටලොස් අහිණියක් සේනාව සමග නුවර වටලාගෙන සිටි අවස්ථාවේ මහෞෂධයෝ සිය ප්‍රඥා
මහිමය යොදවා. සටනක් නොකොට ඔවුන් පළවා හැර රට බේරා ගත්හ.
මහෞෂධයන් හා වේදේහ රජුගෙන් පලි ගැනීමට
ඉටාගෙන කේවට්ට බමුණා විවා මඟුල නම් උපාය දියත් කළ ද එය ද ව්‍යර්ථ කෙරිණි.
සේතකාදීන්ගේ උපදෙසින් බ්‍රහ්මදත්ත දියණිය හා සමග වූ විවාහ උගුලට අසුවන්නට ගිය
වේදේහ රජුගේ දිවි ගැලවූහ. සිය යෝධයන් හා කර්මාන්තයෙහි දක්ෂ ජනී ජනයා සමග උත්තර
පංචාල නුවරට ගිය මහෞෂධයෝ විවාහ මංගල්‍යයට මාළිග තනන බව අඟවා බ්‍රහ්මදත්ත රජුගේ
මාලිගයේ සිට ගං තෙර දක්වා යන උමඟක් කැණ එය තුළ මහා වීථි, කඩපිල්, ගබඩා, වෙළෙඳ සැල්
ආදිය තනවා සුළු උමං දොරටුව ළඟ උපකාරි නම් වූ සියලු අංගෝපාංග සහිත නුවරක් කරවා, බ්‍රහ්මදත්ත
රජ පවුල රවටා, උමග දිගේ ගෙන ගොස්, පංචාල චණ්ඩි කුමරිය වේදේහ රජුට පාවාදී මියුළු
නුවරට ම යැවූහ.
එසේම චූලනී බ්‍රහ්මදත්ත හා එක් සියයක්
රජුන් වසඟ කොට ගෙන, සතර කන්මන්ත්‍රණය හා කරන්නට තැත් කළ සාපරාධී මිනිස් ඝාතනය ද
හෙළි කළහ. වේදේහ රජු හා පණ්ඩිතයන් සිව් දෙන ද එක් සියයක් රජ දරුවන් ද කුමන්ත්‍රණය
දැනගත්තේ එදින ය. තමන් සියල්ල කළේ බලකාමය තකා නො ව, සියලු දෙනගේ ඉෂ්ට සිද්ධිය ප්‍රාන්නාවෙන්
බව ද පහ පහදා දුන්හ. නැවත වේදේහ රජුගේ මරණින් පසුව, අමරා දේවිය හා පිරිස රැගෙන බ්‍රහ්මදත්ත
රජු වෙත ගිය හ. කතාන්තරය තුළින් ම ඉස්මතු වන්නේ මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමය යි. උපාය
කෞල්‍යය හා දුර දක්නා නුවණ යි. මෙසේ කතාවේ පිළිවෙළ නො සිඳ අර්ථ නො සිඳ හේතු ඵල
සම්බන්ධය උඩ කතාව ගලාගෙන යන ආකාරය විස්මිත ය. වර්තමාන රහස් පොලිසිය පවා පරදවන,
විශිෂ්ට චර පුරුෂ සේවයක් ( මිනිසුන් හා සතුන් සම්බන්ධ කරගත්) හා විශිෂ්ට පණිවුඩ
හුවමාරු හා සන්නිවේදන ක්‍රමයක් මෙම සිදුවීම් ජාලය සිසාරා සිටී. එසේ ම පතළ කරුණාව,
වීර්යය හා අධිෂ්ඨාන පාරමිතාවගේ ද අසමසම වූ පුණ්‍ය මහිමය ද උන්වහන්සේගේ ප්‍රඥා
මහිමය උපාය කෞශල්‍යය හා දූරදර්ශී භාවය ද මෙයින් කුළු ගැන්වෙයි. එසේ ම නිරවුල් ව
රසාලිප්ත ව මත බදින යුරින් කතා රසය උපදවමින් උම්මග්ග ජාතකය ඉදිරිපත් කර ඇති බව ද
කිව හැකිය.
උම්මග්ග ජාතකයේ චරිත නිරූපණය
මහෞෂධ පඬිතුමා
උම්මග්ග ජාතකයේ ප්‍රධාන චරිතය වන්නේ '
සඳුන් කැටයක් අත්ලෙහි දරාගෙන උපන් මහෞෂධ කුමරු හෙවත් බෝසතාණන් වහන්සේ ය. බෝසත්
චරිතය උත්තම චරිතය ලෙස නිරූපණය කිරීමට ජාතක කතාකරුවා පෙළඹී තිබෙන බව පන්සිය පනස්
ජාතකය කියැවීමේ දී ගම්‍ය වෙයි. සඳුන් කැටය දරා සිටීම, උපන් හැටියේ කතා කිරීම ආදියේ
පටන් ජාතක කතාව අවසානය දක්වා ම, වරින් වර ආශ්චර්යවත් සිදුවීම් නිරූපණය වෙයි. ළාබාළ
අවධියේ ම මහා ආශ්චර්යවත් සිදුවීම් නිරූපණය වෙයි. ළාබාළ අවධියේ ම මහා ශාලාවක්,
අධිකරණ ශාලාවක්, අලංකාර උයනක් හා පොකුණක් තැනීමද වේදේහ රජු අසා එවූ ප්‍රශ්න වලට ජා
ජනතාවගේ ගැටළුවලට නිසි විසඳුම් දීම ද ආදි විස්මිත ක්‍රියාවන් නිසා එතුමන්ගේ ප්‍රඥා
මහිමය දස දෙස පැතිර ගියේය.
ශාලා තැනවීම ආදි කටයුතු සඳහා මුදල්
රැස් කළ ආකාරය වර්තමාන සමාජයට වටිනා ආදර්ශයක් ගෙනහැර පෙන්වයි. තමා හා හැදුණු
වැඩුණු හිත මිතුරු දහසක් කුමාරවරුන්ට මස්ස බැගින් ගෙනෙන ලෙස මහෝෂධයෝ මෙසේ නියම
කළහ.
'' සුළං හමන කල්හි වේවයි, වැසි වස්නා
කල්හි වේවයි, අවු පහරන කල්හි වේව යි. නොමිරිකී ඉඳිනට සිටිනට වැද හෙන්නට ගෙයක්
කරවම්හ. එකී එකී මස්සක් බැගින් ගෙනෙව."
මෙම ක්‍රියාදාමය තුළින් සාමූහික බව හා
එකමුතු බව සැලසුමකට අනුව කටයුතු කිරීම, තැනට සුදුසු නුවණ ආදි ගුණාංගයන් පිළිබඳ
මහගු ආදර්ශයක් ලැබෙයි. ශාලාව සඳහා රෑත් එළිම විස්කම් දෙව්පුත් රෑන් එලුවාක් මෙන්
විය. සියලුම තරාතිරම් වල ජන කොටස් වලට සියලු අවශ්‍යතා පිරිමැසෙන ආකාරයට ශාලාව
ඉදිකළ අයුරු වර්තමාන තාක්ෂණික වැඩ ලෝකයට ද අභියෝග කරවන්නකි. උයන හා පොකුණු සැලසුම්
කළ ආකාරය ද එබඳු ය. වර්තමාන ගෘහ නිර්මාණ ශිල්පීන් පරදවන සුලු ය. එසේම මෙම මහජන සුභ
සාධන කටයුතු වර්තමාන පාලක පැලැන්තියට ද ඇස් අරවයි. තමන්ගේ ආත්ම ලාභය තකා කටයුතු
කරන පාලයෝ බොහෝ විට මහජන හිත සුව නොසලකති. මෂධ චරිතයෙන් එවන් පාලකයින්ට මනා
ඉගැන්වීමක් සිදු කරන්නේ නිතැතින්මය.
යොවුන් වියට පා තබන කාලයේ සිට මහෞෂධයන්
එකිනෙක ප්‍රශ්න විසඳූ ආකාරය ද සමාජයට වටිනා ආදර්ශ ලබා දෙයි. විවාහය සඳහා ගුණවත්
කාන්තාවක ම තෝරා ගැනීමේ වැදගත්කම ස්ත්‍රී ප්‍රශ්නය ප්‍රකට කරවයි. තමන්ට ගැළපෙන
බිරිඳක සොයා නොගත හොත් ඇතිවන ගැටළු කාල ගෝල ප්‍රශ්නයෙන් පිළිබිඹු වේ. මාතෘ ප්‍රේමයෙහි
අව්‍යාජ ස්වරූපය පුත්‍ර ප්‍රශ්නයෙන් හෙළි වේ. මවක තුළ ඇති දාරක ප්‍රේමය හා
දරුවෙකුගේ දහකාර හැසිරීම් නිසා මවට ඇතිවන ශාරීරික වේදනාව පවා, සැපයක් වන ආකාරය ද
නියම මාතෘ ප්‍රේමය ගැන ද මාතෘ ප්‍රශ්නයෙන් හෙළි වේ. කර්ම ඵල අනුව, ඉරණම ඉෂ්ට
සිද්ධවන ආකාරය, 'සිරිකාලකණ්ණ ප්‍රශ්නයෙන් පෙන්වයි. මේ අයුරින් මහෝෂධයන් එකිනෙක ප්‍රශ්න
දහනමයක් නුවණින් විසඳූ ආකාරය ඉදිරිපත් කිරීමෙන් ජාතක කතාකරු මනුෂ්‍ය සන්තානයෙහි
ස්වභාවයත් වටහා දෙන අතර මනුෂ්‍යයා සිය ජිවන ගැටළු හමු වේ. බුද්ධිමත් ව ක්‍රියා කළ
යුතු ආකාරය පිළිබඳවත් මනා ගුරු හරුකම් දෙයි.
සොළොස් හැවිරිදි වියේදී ම වේදේහ රජුගේ
අග්‍ර පුරෝහිත තනතුරට පත් වූ මහෞෂධයෝ රාජ්‍ය පාලන කටයුතු ද භාර ගෙන මියුළු නුවර
ආරක්ෂා සංවිධාන තර කරමින් දහඅට රියන් උස මහා ප්‍රාකාරය. තුන් අගල ආදිය තනා මතු
විපත් වලින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු සංවිධානය කළහ.
රාජ්‍යය
තුළ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කරවා වැව් පොකුණු වාරිමාර්ග ඉදිකර ධන ධාන්‍යයෙන් ආඩ්‍ය
කළහ. මේ නිසා දඹදිව එක් සියයක් රාජධානි අවනත කරගත් චූලනී බ්‍රහ්මදත්ත රජුට මියුළු
නුවර යටත් කර ගැනීමට නො හැකි විය. මෙයින් එතුමාගේ දූරදර්ශී නුවණ ප්‍රකට වේ.
මහෞෂධයන්ගේ
ප්‍රඥා මහිමය හා දූරදර්ශී ඥානය පිළිබිඹු කරන අනෙක් ක්‍රියාව නම්, ඉතා විශිෂ්ට චර
පුරුෂ සේවාව හා පණිවුඩ හුවමාරු ක්‍රමයයි. එතුමාගේ උපදෙසින් සෑම රාජ්‍යයක ම රජුන්
වෙත ගොස් ප්‍රාණ හා සමාන මිත්‍රයන් වී ඉතා සමීපව කටයුතු කළේ එම චර පුරුෂයන් ය.
එනිසා එම සියලුම රාජ්‍ය වල කටයුතු හා රහස් පිළිබඳව මියුළු නුවර සිට ම වහාම දැන
ගැනීමට ද ඔහුට හැකි විය. කේවට්ට බමුණු විසින් සැලසුම් කළ, සතර කන් මන්ත්‍රණය ව්‍යර්ථ
කොට, ඒ සා මහත් සාපරාධී මිනිස් ඝාතනය වැලැක්වීමට අවස්ථාව සැලසුණේ මෙම අති විශිෂ්ට
චරපුරුෂ සේවාව නිසාය.
උමංදාවේ එන මහෞෂධ චරිතය උපාය කෞෂල්‍යයෙන්
ද අනූනය. විෂරා පෙවීම සංඛ්‍යාත භයංකර මරණයෙන් එක් සියයක් රජවරුන් බේරා ගැනීම,
මියුළු නුවර ජය ගැනීම උදෙසා කේවට්ට බමුණු යෙදූ සියලු උපායන් ව්‍යර්ථ කිරීම. ධර්ම
යුද්ධයේ දී කේවට්ටයා පරාජය කිරීම අනුකේවට්ට උපාය, රහසේ කණිනු ලැබූ උමං කර්මාන්තයට
යන වියදම් බ්‍රහ්මදත්තයන්ගේ රාජ්‍යයෙන් ම ලබා ගැනීම. බ්‍රහ්මදත්තයන්ගේ මුරකා වලට
තම චර පුරුෂයන් ව යෙදවීම. බ්‍රහ්මදත්තයන් ඇතුළු එක් සියයක් රජ දරුවන් තමන් වසඟයට
ගැනීම ආදි සෑම අවස්ථාවකදී ම මහෞෂධයන්ගේ විශිෂ්ට වූ උපාය කෞශල්‍යය නිරූපණය කෙරේ. එක
ලේ බිඳකුදු නො සොල්වාම් මිනිස් ඝාතනයකුදු නො කර අටළොස් අක්ෂෞහිණියක් සතුරු
සේනාවන්ගෙන් මියුළු නුවර බේරා ගැනීමට හැකි වූයේ මේ උපායශීලී බව නිසාය
ක්ෂ තාන්ත්‍රිකය වගකීම් අකුරටම ඉටු
කරන, ඉතා දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ ගති ලක්ෂණ ද මෙම චරිතයෙන් ඉස්මතු වේ. රට රජු
හා වැසියා සුරැකීම සිය ධර්මය කොටගත් එතුමන් වේදේහ රජුට කිසිම මානසික ශාරීරික
පීඩාවක් නැතිව සැනසිල්ලේ සිටීමට සලස්වා තුමුම සියලු ගැටළු වලට අහිතව මුහුණ දී
යුතුකම ඉටු කොට රට සුඛිත මුදිත කිරීමට ද උත්සුක වූ බව පෙනේ.
මේ චරිතය ලක්ෂණයකි. චර පුරුෂයන්ගේ
පවුල් වල අයට සත්කාර සංග්‍රහ කරමින් සේවයේ යෙදුණු සතුන්ට පවා සත්කාර කරමින්
යුතුකම් ඉටු කළ බව පෙනේ. ඔවුහු ද සිය සේවය නොපිරිහෙළා ඉටු කළහ.
මනා ඉවසීමෙන් කටයුතු කළ පුද්ගලයෙකු ලෙස
ද මහෞෂධ චරිතය කැපී පෙනේ. සතරකන් මන්ත්‍රණය පිළිබඳ ව ගිරා පෝතකයා පැවසූ අවස්ථාවේ
දී ඉවසීමෙන් යුතුව කටයුතු කරමින් නිසි තැන්හි දී නිසි පරිදි ප්‍රඥාව, දූරදර්ශී බව
හා උපාය කෞශල්‍යය මෙහෙයවා මහත් විනාශයක් වලක්වා ගැනීම මෙයට එක් නිදසුනකි. පංචාල
චණ්ඩි කුමරිය හා වේදේහ රජු පිළිබඳ විවාහ මංගල්‍යය සිද්ධියේ දී සේනකාදි පණ්ඩිතවරුන්
ඉදිරිපිට දී වේදේහ රජු මහත් සේ මහෞෂධයන්ට පරිභව කළහ. තම රාජ්‍යයෙන් ද නෙරපා හැරීම
සඳහා රජු ඉදිරිපත් වීමට ප්‍රථමයෙන් මහෝෂධයෝ මහත් ඉවසීමෙන් යුතු ව රජුට වැඳ රජගෙන්
පිටමං වූහ.
අවශේෂ රජුන්, බමුණු ආදි සියලු චරිතවල
දුර්වලතැන් මතු කොට දක්වන අතර, බෝසත් චරිතයේ පුණ්‍ය මහිමය නිසා අධිෂ්ඨාන ඉටුවන
අයුරු ද තුන්කල් දක්නා නුවණින් හෙවත් මහා ප්‍රඥාවෙන් සියලු අපේක්ෂාවන් ඉටුකර ගන්නා
අයුරු ද මැනවින් නිරූපණය වේ.
අනිකුත් චරිත ලවා, මහෞෂධයන් පිළිබඳව
පැහැදිම ඉස්මතු කරන ප්‍රකාශ ද බොහෝය. මහෞෂධයන් පිළිබඳව කේවට්ට බමුණු මෙසේ කියයි.
“මේ වේදේහ රජුගේ බලයක් නොවේ. මහෞෂධ පණ්ඩිතයන්ගේ
විධාන ය. ඌ තුමූ මහානුභාව ඇත්තාහ. මිථිලා නම් රාජධානිය සිංහයකු විසින් රක්නා ලද
රන් ගල් ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින් ගන්නට නොහැක්කේය.”
“ ම
පුතණුවෝ නම් මතු වන්නා වූ භය තමන්ගේ ප්‍රඥාවක්ෂු සීන් මනාකොට දුට හ.’’ (වේදේහ රජු)
“
පණ්ඩිතයෙනි, අවීචියෙහි පටන් භවාග්‍රයෙහි පටන් භවාග්‍රය දක්වා තොප හා සම නුවණැති
කෙනෙක් නම් නැත..’’ ( වේදේහ රජු)
සේනකාදී
පණ්ඩිතවරුන් ලවා ද මහෞෂධයන්ගේ ගුණ වැයේ.
“මේ
දුකින් අප හැම දෙනා සුවසේ මුදා පියන් නම්, කරුණා නිධාන වූ ජනහිත නිරත වූ මහෞෂධ
ස්වාමීන් විනා අපගේ නුවණින් ඒ අන්ධයන්ට විෂය නො වෙයි. “
මහජනයා
ලවා ද බෝසතුන් ගුණ ම කියැවේ.
“ සත්
හැවිරිද්දේ පටන් ඔබගේ බල තමන් හැම ඉඳුරා දන්නා හෙයින් ‘
ආදී
වශයෙන් මහජනයා ලවා නිරතුරුව ම උන් වහන්සේ අගය කරවයි.
ජාතක
කතාකරුවා මහෞෂධ චරිතය නිර්මාණය කිරීමේ දී බෙහෙවින් ම පක්ෂග්‍රාහී වී ඇති බව පෙනේ.
එයට හේතුව වන්නට ඇත්තේ බෝසත් චරිතය උත්තම චරිතය ලෙස හුවා දැක්වීමට සිදු වීමයි.
සංවිධාන ශක්තියෙහි දුර්වල අවස්ථා මතු වූ විට පුණ්‍ය මහිමය හා අධිෂ්ඨා ශක්තිය
ඉස්මතු කිරීමට කතුවරයා වගබලා ගනී. මේ එයට නිදසුන් ය.
“ බෝධි
සත්වයන්ගේ ආනුභාවයෙන් නොසිතූ මුත් ‘’
“බෝධිසත්තානං
අධිප්පයා නාම ඉජ්ඣන්ති.. යි බැවින්..” අදහස් සිදුවෙයි වදාළ
“බෝධිසත්වයන්ගේ
අභිප්‍රාය නම් සිද්ධ වන්නේය. එබැවින් එක රැයින් පැළ නැ.........වුරු මුදුනින් ඉතා
නිල් වලා සමුහයක් සේ අතිනීල වැ පෙනෙන්නට වන්...’’
ධර්ම
යුද්ධ අවස්ථාවේ දී මහෝෂධයන් කේවට්ට බමුණාට සැලකුවේ මහත් අකරුණාවත් අන්දමටය.
“ එක්
අතකින් පිටි කර හා එක් අතකින් පිටි මුල හා තරයේ අල්ලාගෙන.....මුඛය හා සමග
නළල,
පෙරළ පෙරළා කොරසැති බිම උළා රත් වද මලක් සේ ලේ හා පස් හා ඒකා.....’’
විවාහ
මංගල යෝජනාව අවස්ථාවේ දී කේවට්ටයන් මහෞෂධයන්ගේ ගෙට ගිය විට සලකන ලද්දේ ඉතා පහත්
අන්දමිණි සේවකයන්ගේ පහරදීම්වලට නින්දා වලට තාඩන පීඩන වලට ලක් වූ කේවට්ටයන් ඉතාමත්
අසරණ විය. මෙසේ කේවට්ටයන්ට සැලකීමට හේතුව ඔහු විසින් කරන ලද තුච්ච යෝජනා හා පහත්
ක්‍රියාවලට එවැනි පහත් සංග්‍රහයක් කිරීම සුදුසු නිසා විය හැකි ය. එහෙත් උමංදාකරු
මෂධයන් හඳුන් වන්නේ ඉතා කරුණාවෙනි. ඉතා ගෞරවයෙනි.
" ඒ අසමින් සකල ජනාද කර වූ
තිලෝගුරු බෝධිසත්වයන් වහන්සේ "
" තමන් පා පියුම් ලෝ මුදුන් කළ
තිලෝගුරු බෝධි සත්වයන් " එබස් අසා කරුණාවට ආකර වූ ස්වාමි දරුවාණෝ"
''අභිමතාර්ථ සාධක වූ චින්තා මාණික්‍යයක් බඳු වූ මාගේ ස්වාමි දරු වූ "
මෙසේ හැම විට ම බෝසත් චරිතය උසස් ලෙස
නිරූපණය කිරීම සඳහා බස් වහර ද යොදා ඇත. මහෝෂධ චරිතය උත්තම චරිතය හා ප්‍රධාන චරිතය
ලෙස උමංදාවේ ඉස්මතු කර දක්වා ඇති බව මේ අනුව පෙනේ.
කේවට්ට බමුණ
චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අග්‍ර පුරෝහිත
තනතුර හෙබ වූ මොහු ද ඥානවන්තය. උපායශීලීය. එහෙත් තනතුරු ලෝභය හා වස්තු කාමය නිසා
තමන්ට නොගැළපෙන ක්‍රියා කළේය. සතරකන්මන්ත්‍රණය එබන්දකි. ඔහු සැලසුම් කළ මහා මිනිස්
ඝාතනය ව්‍යර්ථ වී ගියේ මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමය නිසා ය. එහෙත් කේවට්ට උපක්‍රමශීලීව
ක්‍රියා කොට එක් සියයක් රාජධානි අවනත කරගෙන බ්‍රහ්මදත්ත රජුගේ බලය වර්ධනය කිරීමට
සමත් විය. මියුළු නුවරට මුල දී අත නොගැසුවේ මහෞෂධයන්ගේ බලය හා ප්‍රඥාව අවබෝධ කරගෙන
සිටි නිසාය.
උමංදාවෙහි බොහෝ තැන්වල දී කේවට්ට චරිතය
අවඥාවට ලක්කර තිබේ. මේ එයට නිදසුන්
" සීනෙන් දුටුවන් බාන තරම් මොහුගේ
රූප විලාශය හා කඩදත් හා මුණ හා රත් වූ ඇස් හා
ඇති මොහු..... විරූප වූ බැලුම් ඇති
නපුරු වූ බමුණා..
"නැවත අඥාන වූ මහලු බමුණු
කියන්නේ..."
" එසේම නිවට වූ කේවට්ටයා......ඉතා
අලජ්ජි වූ කේටට්ටයා '"
"කොල පවිටු දුෂ්ට අධර්මිෂ්ට වූ
නිකෘෂ්ට අනාචාර්ය ඇති අවලක්ෂණ බමුණු මහල්ල"
"ඒ දුෂ්ටයා කියන්නේ
" වැසි සමයේ ගවර පිරි ගෙවුදකට වන
ගොන් මාල්ලකු සේ"
කේවට්ට බමුණු උපායෙහි සමත්ය.
යුද්ධෝපායන් හා ධර්ම යුද්ධය ජය ගත නො හැකි වූයේ මහෞෂධයන්ගේ ප්‍රඥාවත් චරපුරුෂ
සේවයත් නිසා ය. සිදු විය හැකි දේ ගැන චර පුරුෂයන් මගින් කලින් දැන නො ගත්තා නම් එම
උමක්‍රම සාර්ථක වන්නට ඉඩ තිබුණි. එසේ ම සතරකන් මන්ත්‍රණය පරිදි සාපරාධී මිනිස්
ඝාතනය පවා කරන්නට ඉඩ තිබුණි. දඹදිව් තලයේ අග්‍ර රාජයා බවට බ්‍රහ්මදත්ත රජු පත්
කරන්නටත් තමන් අග්‍ර පුරෝහිතයා වන්නටත් සිතා ඔහු විසින් කරන ලද සෑම ක්‍රියාවක් ම
නිෂ්ඵල වූයේ මහෞෂධයන් සිය චරපුරුෂ සේවය මගින් ඔහුගේ සියලුම රහස් දැනගත් නිසා ය.
කල්තියා ම ඒවා ගැන දැනගත් නිසා මහෞෂධයන්ට සූදානම් ව සිට කටයුතු සංවිධානය කිරීමටත්
මියුළු නුවර බේරා ගැනීමටත් හැකි විය.
කේවට්ට නොපසුබස්නා උත්සාහයෙන් යුත්
පුද්ගලයෙකු ලෙසින්ද නිරූපණය වේ. මුල සිට ම සිය අරමුණු කෙසේ හෝ ඉටු කර ගැනීමට ඔහු
ක්‍රියා කළේය. මියුළු නුවර ජය ගැන්ම සඳහා කරන එක උපක්‍රමයක් අසාර්ථක වූ විට තව
උපක්‍රමයක් යෙදීය.
" ඒ අසමින් සකල ජනාද කර වූ
තිලෝගුරු බෝධිසත්වයන් වහන්සේ "
" තමන් පා පියුම් ලෝ මුදුන් කළ
තිලෝගුරු බෝධි සත්වයන් " එබස් අසා කරුණාවට ආකර වූ ස්වාමි දරුවාණෝ"
''අභිමතාර්ථ සාධක වූ චින්තා මාණික්‍යයක් බඳු වූ මාගේ ස්වාමි දරු වූ "
මෙසේ හැම විට ම බෝසත් චරිතය උසස් ලෙස
නිරූපණය කිරීම සඳහා බස් වහර ද යොදා ඇත. මහෝෂධ චරිතය උත්තම චරිතය හා ප්‍රධාන චරිතය
ලෙස උමංදාවේ ඉස්මතු කර දක්වා ඇති බව මේ අනුව පෙනේ.
·
වේදේහ රජු
උමංදාවේ
වේදේහ රජුගේ චරිතය නිරූපණය කොට ඇත්තේ පාලක පැලැන්තියේ දුර්වලකම තියුණු ලෙස උපහාසයට
ලක්වන පරිදි ය. ඔහුට උපදෙස් දීමට සිටියේ සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද යන
පණ්ඩිතයන් හතරදෙනා ය. ඔවුන් හා රජු ශාස්ත්‍ර නිමිති බලමින් කල් ගත කළා විනා රාජ්‍යයේ
ආරක්ෂා සංවිධාන සැලසූයේ නැත. තමා දුටු සීනයේ ඵලය වූ මහෞෂධයන්ගේ ඉපදීමෙන් පසු ව
රජුගේ ඉරණම යහපත් වන්නට විය. ළදරු අවදියේ සිට මහෞෂධයන් පෑ ප්‍රඥා මහිමය ගැන අසා
පණ්ඩිතයන් සිව් දෙනා සමග එකතුව විවිධ ප්‍රශ්න එතුමා වෙත ඉදිරිපත් කරමින් රජු එතුමාගේ
නුවණෙහි තරම විමසූ හ. ඒ පැණ විසඳුම් වල දී මහෞෂධයන්ගේ ප්‍රඥා මහිමය ද අනෙක්
පණ්ඩිතයන්ගේ අඥානකම ද ඉස්මතු කෙරිණි.
වේදේහ
රජු මහෞෂධයන් අග්‍රපුරෝහිත තනතුරට පත් කරගත් දා සිට එතුමා ගැන පූර්ණ විශ්වාසයෙන්
තමා බලා සිටියා මිස රාජ්‍ය පාලන කටයුතු කිසිවක් නොකළේය. මහෞෂධ යෝ ඒ සියල්ල කරට ගෙන
රජුත් රටත් වැසියාත් ආරක්ෂා කළහ. අටළොස් අහිණියක් වූ බ්‍රහ්මදත්තගේ සේනාව මියුළු
නුවර වටලා ගත් විට හේ බියගුල්ලකු සේ හැසිරුණේය. තමන් ගලවා ගැන්ම මහෞෂධයන්ට භාර
කළේය.
“නුවණ
නම් මෙසේ වූ තැනට වේ ද? එහෙයින් තෙපිම දනුව. මේ මහා සේනාවෙන් අපට කෙසේ ගැලවීමක් වේ
ද?”
ආදී
වශයෙන් මහෞෂධයන්ගේ පිහිට ම පැතූහ. මහෞෂධයන් විසින් මහා ප්‍රාකාර දිය අගල් තනවා
වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරවා රට සමෘද්ධිමත් කර චරපුරුෂ සේවයද පිහිටුවා මතු
සතුරු උවදුරු වලට සාර්ථකව මුහුණ දීම සඳහා කළ අප්‍රමාණ කටයුතුවල දී මොවුන්ගේ සහාය
නොලැබිණි. සතුරු සේනාව නුවර වටලාගෙන සිටින නියාව ද ඇසූයේ පරම්පරා ශබ්දයෙන් හෙවත්
කටිකතා වලිනි. සියලු කටයුතු සඳහා මහෞෂධයන්ට සහාය වූයේ වේදේහ රජ නො ව
තමන්ගේම
චර පුරුෂයන් ය.
බ්‍රහ්මදත්තයන්ගේ
දු කුමරිය පිළිබඳ විවාහ ඉගුලට අසු වී වේදේහ රජු බමුණන් ඇතුළු පිරිස සතුරු සෙනග
විසින් වට කර ගත් අවස්ථාවේ මරණ භයින් වෙලී වේදේහ රජු කළ බැගෑපත් කන්නලව්ව ඔහුගේ
බියගුලු බවට හොඳ නිදසුනකි.
“ඉතා
මෘදු වූ ලා අඹ දළුවක් පරිද්දෙන් මාගේ ළය වෙව්ලන්නේය. මුඛයෙහි කෙළ සිඳී ගියේ ය. තව
ද කඹුරන්ගේ ගිනි ඇතුළෙන් දවන්නේය. පිටත නොපෙනෙන්නේය. එපරිද්දෙන් මාගේ ළෙහි ගිනිගත
හෘදය මාංශය දැවෙන්නේ ය. කියා හැඬු හ. ‘’
“
ගැලවෙන උපායක් කියව. තොප හැර මට අනික් පිටිවහලක් නැතැයි කීහ. ‘’
අන්තිමේ
දී වේදේහ රජු සිය සේනකාදී පණ්ඩිතයන්ගේ අඥානත්වය වටහා ගනී.
‘’
උපායක් නොදන්නා අඥානයන් සමීපයෙහි අනේ මා විසූ නියාවත් නපුරුය. පැන් නැති මහ වනයේ
අතු විසුවාක් වැන්න.”
වේදේහ
රජුගේ ස්ත්‍රී සොඬ බව ද මනාව ප්‍රකට වේ. කේවට්ටියා ගායකයන් ලවා පංචාල චණ්ඩි කුමරිය
ගැන කළ වර්ණනාවට රැවටී වේදේහ රජු තමන්ට වඩා ඉතා ළාබාළ එ කුමරිය හා විවාහ වීමට
පෙළඹීමෙන් මහත් අනතුරකට මුහුණ පෑයේයහොඳ ගුණාංග හා නම්‍යශීලි බවත් ඒ සිදුවීම්වලින්
පෙනේ. එහෙත් කේවට්ටයන්ගේ තනතුරු කාමය හා තමාගේ බල කාමය ඉදිරියේ මුලදී අවිචාරයෙන්
ක්‍රියා කළ බව පෙනේ. කෙසේ වුව ද උමංදාවේ එන ඉතා වැදගත් චරිතයක් ලෙස චූලනී බ්‍රහ්මදත්ත
රජුගේ චරිතය සැලකිය හැකි ය.
සේනක
පණ්ඩිතයෝ
වේදේහ
රජුගේ ප්‍රධාන පඬිවරයෙහි කාවින්ද, දේවින්ද, පුක්කුස යන පඬිවරුන්ගේ සහයට සිටි සේනක
පණ්ඩිතයෝ. ආත්මාර්ථකාමී අඥාන පුද්ගලයෙකු ලෙස නිරූපිත ය. එහෙත් සින පලාපල කීමේ දී
නම් බුද්ධිමත් භාවය පෙන්වයි. මහෞෂධ පඬිවරයාගේ ප්‍රඥා මහිමය ඉදිරියේ ඔහු කදෝ
පැණියකු මෙන් විය. මහෝෂධයන්ට ඊර්ෂ්‍යා කළ හේ රජු හා එතුමා අතර භේද ඇති කළේය. වේදේහ
රජු නොමග යවා මහෞෂධයත් මැරවීමට පවා උපක්‍රම යෙදීය. එහෙත් ඒවා අසාර්ථක විය. බ්‍රහ්මදත්තයන්ගේ
සේනාව මියුළු නුවර වටලාගත් අවස්ථාවේ දී භයින් වෙව්ලා ගියේය. රට බේරා ගැන්ම සඳහා
කිසිවක් නොකළේය.
කේවට්ටයන්
විසින් විවා මඟුල් යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී දුරදිග නොබලා මේ විවාහය සඳහා
රජු පෙළඹවී ය.
“තමා
කරා එන ශ්‍රී කාන්තාව දුරු කරන කෙනෙක් ඇත් ද ........ නුඹ වහන්සේට වන්නේ මහත්
අභිවෘද්ධියෙක්..... අපිත් නුඹ වහන්සේ හා කැටිව ගිය කල වස්ත්‍රාභරණ අන්න පානාදියෙන්
සංග්‍රහ ලබන්නෙමු. “
ආදී
වශයෙන් වේදේහ රජු විවාහයට පෙළඹවී ය. මෙම යෝජනාවේ යටි අදහස ගැන නොසිතා තමන්ට ලැබෙන
රස මසවුළු හා ලාභ ප්‍රයෝජන ගැන පමණක් සිතුවේ ය. ඔවුන්ගේ අවිචාරවත් ක්‍රියා
කලාපය පිළිබඳ ව එයින් ම පැහැදිලි ය.
උත්තර
පංචාල නුවර දී තමන් සතරු පිරිස විසින් වටකර ගත් විට පවා ඔහුට යථාර්ථය නො වැටහිණි.
සතුරන්ගෙන් බේරීම සඳහා යෝජනා මාලිගය තුළට වී පිටතින් ගිනි දල්වා ඇතුළත සිට ඇ කළේ
වේදේහ රජු ප්‍රධාන සියලු පිරිස සුදුසු බව ය. කොටා ගෙන මිය ගොස් එක සෑයක
සේනක
පඬිවරයා කෝතමක් (වැරහැල්ලක්) ඇඳ ගෙන දණ නමාගෙන උමඟින් යන්නට සූදානම් වූ අවස්ථාව
අතිශයින්ම හාස්‍යජනකය. සේනකයන්ගේ රහස් හෙළි කළ අවස්ථාව ද එබඳුය. සේනක පණ්ඩිතයාගේ
චරිතය නිරූපණය කොට ඇත්තේ ඉතා අඥාන අවිචාරවත් නිවටයකු ලෙසිනි. හාස්‍ය රසය පතිත කරවන
මේ චරිතය තත්කාලීන බමුණු මතවාද වලට ගැසූ පහරක් මෙනි.
·
උදුම්බරා දේවිය
දිසාපාමොක්
ඇදුරුගේ දියණියයි. හොඳම ශිෂ්‍යයා වූ පිංගුත්තර නම් මානවකයාට ඇය සරණ කර දෙන ලදි.
දිඹුල් ගසෙහි සිටි බැවින් උදුම්බරා නම් වූවා ය. ඈ පාවාගත් පිංගුත්තර ඇය දිඹුල්
ගසෙහි තනිකර පලා ගිය අතර එතැනින් යන්නට ආ වේදේහ රජු ඇය පිළිබඳ සිතැති ව තොරතුරු
විමසා බලා මාලිගයට කැඳවාගෙන ගොස් අග බිසව කර ගත්තේය. පසු දිනෙක මඟ යමින් සිටිය දී
සැමියාගේ අවාසනාව දැක සිනා පහළ කළ ඇයව සැක කළ රජු ඇය මරා දැමීමට තැත් කළ විට
බේරාගනු ලැබුවේ මහෞෂධයන් විසිනි. සිරි කාලකණ්ණි ප්‍රශ්නයේ දී කියැවෙන්නේ මෙම
පුවතයි.
උම්මග්ග ජාතකය පුරාතන සිංහල ධර්ම ග්‍රන්ථ
අතර අගය කළ හැකි ආකාරය
කුරුණෑගල යුගයේ උම්මග්ග ජාතකය සිය
බසින් රචනා කරන කාලය වන විට සිය බසින් අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය වැනි
ධර්ම සාහිත්‍ය ප්‍රකරණයන් රචනා වී තිබිණි. කාලිංග එළුව නමින් ද හඳුන් වන කෙටි වාක්‍ය
රටා වලින් හෙබි හෙමින් ගලා බස්නා රීතියකින් යුත් ගුරුළු ගෝමීන්ගේ අමාවතුරේ පුරිස
ධම්මසාරථී යන බුදු ගුණය ඉස්මතු කරලීමට උත්සාහ ගෙන ඇත. වේගයෙන් ගලා බස්නා කථා මාධ්‍යයකින්
යුත් සංස්කෘත මිශ්‍ර රීතියකින් හෙබි බුත්සරණින් විදුසක්විති විවිධ බුදු ගුණ ශ්‍රව්‍ය
ගෝචර කරගෙන බුදුසරණ යෑමට ගෝතෘ ජනයාට අවස්ථාව සැලසේ. පොදු ජන වහරට සමීප ශෛලියකට
නැඹුරු වී ධර්මසේන හිමියන් දඹදෙණි යුගයේ දී සිංහල බණ කථා ආඛ්‍යානයට එසේ
ගුරුළුගෝමී, විදු සක්විති ධර්මසේන හිමි වැනි පඬිවරුන් ප්‍රබල අත්හදා බැලීම් කර
තිබූ සාහිත්‍යයික පසුබිමක් පැවැති අවස්ථාවක උම්මග්ග ජාතක කථාකරුවා ද එකී පසු තලයෙන්
ද ප්‍රතිෂ්ඨාව ලබා ගනිමින් ස්වකීය කථන ක්‍රමය ශෝතා පිරිසකට උචිත ශ්‍රව්‍යකාව්‍යාත්මක
ශෛලියකින් ඉදිරිපත් කරන අයුරු දැකිය හැකි ය.
කථා කරුවා ග්‍රන්ථාරම්භයෙහි දක්වා ඇති
බුත්සරණ බණ කථා ශෛලිය සිහියට නංවන වර්ණතා ප්‍රදේශයෙන් උදාහරණයක් මෙසේ ය.
"එක් සමයෙක්හි ශාක්‍ය සිංහ වූ
සමන්ත හඳු වූ අසම සම වූ තෛලෝකතිලක වූ ත්‍රිභුවන
චූඩා මාණික්‍ය වූ කරුණා නිධාන වූ ප්‍රඥාවට
වල්ලභ වූ සාගරයක් සේ අචින්ත්‍ය ගුන ඇති....... මෙම වාසගම් ප්‍රදේශයෙහි අන්තර්ගත
ශෛලිය විමර්ශනය කරන විට පෙනෙන්නේ එතෙක් ව්‍යවහාර ප්‍රාප්තව පැවති බුත්සරණ බණ කථා
ආර පිළිබඳ පරිචයක් ඇතිව ශෝතා පිරිසකට අසා රසවිඳිය හැකි සේ ස්වකීය ආඛ්‍යාන රීතියට
පිවිස සිටින ආකාරයයි.
උම්මග්ග ජාතකය බෝධි සත්ත්ව ආත්මයක් වූ
මහෞෂධ චරිතය කේන්ද්‍ර කරගෙන එතුමන්ගේ ප්‍රඥා පාරමිතාව කුළු ගැන්වෙන
පරිද්දෙන් නිර්මාණය කරන ලද්දකි.
"ප්‍රඥා පාරමිතාව අරභයා මේ ජාතකය
වදාළ සේක.” යනුවෙන් මේ බව අඛ්‍යාතකරුවා විසින් ප්‍රකාශිතය.
බුදුන් වහන්සේගේ ශීල සමාධ්‍යාදි අනේකප්‍රාකාර
ගුණ වර්ණනා කරමි දම් සභා මණ්ඩපයෙහි භික්ෂූන් පසුවුණු ආකාරය වර්ණනා කර ඇත්තේ කථාව
අසා රස විදින ශෝතෘ පිරිසකගේ සෞන්දර්ය රුචිය සන්තර්පනය වන ආකාරයෙනි.
" ශක්‍රාගමනය බලමින් සුධර්මා නම්
දිව්‍ය සභාවෙහි රැස්ව උන් දිව්‍ය සමූහයා සේ ධර්මරජාණන් වූ ධර්මාධිපති වූ
ධර්මස්වාමි වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වඩනා පෙරමග බල බලා ධර්මාසනය පිරිවරා
හිඳ..''
යන හිසින් එම අවස්ථාව වචන වලින් චලන
චිත්‍රයක ස්වරූපයෙන් චක්ෂුන්ද්‍රිය ගත චිත්තරූප කවි සමය ඇසුරින් උපදවමින් ඉදිරිපත්
කර තිබෙන ආකාරය ශෝතා පිරිසකගේ රුචිය හා බැඳී පවතී.
ධර්ම සභා මණ්ඩපාවිෂ්ඨව සිටි භික්ෂූන්
වහන්සේලාගේ මානසික තත්ත්වය තවදුරටත් විෂද කරවන රචකයා ගුරුළුගෝමීන්ගේ අමාවතුරේ මෙන්
බණ කථා කරණයට උචිත වාග් සංව්‍යුහය කෙටි වාක්‍ය රටාවන්ගෙන් සමීප කරගෙන ඇති අන්දම
පහත දැක්වෙන උද්ධරණයෙන් පැහැදිලි වේ.
තුන් හෙළයේ සිංහල පන්තිය ·ආදිවාස හා
දරුවෝ
" ස්වාමීනි බුදුන් විසින්
නොකියන්නට වදාළ රාජ කථා චෝර කථාදි වූ දෙතිස් කථාවෙන් නුන්නම්හ. බුදුන්ගේ සුවිසුද්ධ
නිරීක්ෂණ ප්‍රඥාගුණ රසාස්වාදයෙන් පින පිණා උන්නම්හ. ''
මෙම උදාහරණ ප්‍රදේශයෙහි ඇති බණ කථා
ශෛලියෙන් පෙනෙන්නේ ගුරුළුගෝමීන්ගේ අමාවතුරේ දක්නට ලැබෙන පාලි රීතිය ගැන ද අවබෝධය
ඇතිව තමන්ටම අනන්‍ය වූ විචිත්‍ර ශෛලියක් සිය බසට පිවිසුවා ලීමට උම්මග්ග ජාතක
කථාකරුවා තුළ පැවැති වාග් බුහුටිකමයි.
උම්මග්ග ජාතක කථාකරුවා සිංහල ගද්‍ය
සාහිත්‍ය වංශයෙහි මුදුන් මල්කඩ සේ සම්භාවනාවට පාත්‍රව ඇති ධර්මසේන හිමියන්ගේ
සද්ධර්ම රත්නාවලිය කතුවරයාට උපමාදී සංකල්ප රූප පරිහරණය විෂයෙහි බොහෝ දුරට ළං වන
ස්වරූපයක් ද දැකිය හැකිය. එය සනාථ කිරීමට ඉදිරිපත් කළ හැකි ස්පර්ශක රූපයක් භාවිත
වූ ස්ථානයක් මෙසේ ය.
" සත් අවුරුද්දක් ප්‍රබන්ධයෙහි
පහළ ඉසරුජාව නෙළුම් පතෙක නොඇලි රූරා ගෙන යන දියත්තක් සේ නැතිව ගියේ ය."
සිරිවර්ධන සිටාණන්ගේ ඉසරුජාව මහෞෂධ
නිසා නැති වී ගිය අයුරු රචකයා ප්‍රබල ස්පර්ශන රූපයක් ඇසුරින් ඉදිරිපත් කර තිබෙන
අයුරු ස්වකීය හැඟීම් සංව්‍යුහගත සංකල්ප රූප වලින් උපශෝභිත කොට ඉදිරිපත් කිරීමට
තිබූ පරිචය ද බණ කථාකරණයට වඩා උචිත රීතිය ළඟා කර ගැනීමට උම්මග්ග ජාතක කථාකරු සමත්
වූ අයුරු ද පෙන්වන්නේ ය.
මාංස, ගණ්ඨි, පුත්‍ර, ගෝල කාල, රළු,
දණ්ඩක, ශීර්ෂ, අහිකුන්ටක, විජයාන, ඕදන, වාලුකා, තඩාංග උද්‍යාන, ගදාහ, මණිකණ්ඨක,
සිරි කාලකණ්ණි, මණ්ඩක ආදි ප්‍රශ්න යව මැදුම් ගම් වාසය කරමින් සිටි මනෞෂධ පඬිතුමා
විසඳූ අයුරු ඔහුගේ තර්ක බුද්ධිය ප්‍රකට කරවන ප්‍රඥා පාරමිතාව නිදසුන් කළ හැකි
රසභාව පූර්ණ වර්තමාන සාර්ථක කෙටි කථාවලට වුව ද තේමා කරගත හැකි ද සමකාලීන ශෝතාන්ගේ
සෞන්දර්යය රුචිය සන්තර්පනය කරලීමට බෙහෙවින් උපස්ථම්භක වූ කථාන්තර ලෙස සැලකිය හැකි
ය.
පැරණි සිංහල වෙනත් බණ කථා ග්‍රන්ථ වලට
වඩා සමාජ හරස්කඩක් වන සේ නිර්මාණය වී කඩක් සේ ඇති කාලගෝල, සිරිකාලකණ්ණි යන කථාවල
හමුවන අත්දැකීම් ශෝතෘ ජනයාගේ පරිඥානය විෂද කර ගැනීමට වැදගත් වේ. නැණවතා ද, ධනවතාද,
ශ්‍රේෂ්ඨ යන ප්‍රශ්නය ද ශෝතෘ ජනයාගේ ඥෙය මණ්ඩලය පුළුල් වීමට හේතු වේ. අපේ පැරණි බණ
කථා සාහිතහෙයත් හමු නොවන ඉතා දුර්ලභ ගණයේ ලා සැලකිය හැකි උදුම්බරා වැනි
කාන්තාවන්ගේ චරිත ශෝතෘ ජනයා ඉදිරියට පමුණුවා ඇති ආකාරය උම්මග්ග ජාතකයට සෙසු පැරණි
සිංහල බණ කථා වලට වඩා උසස් ස්ථානයක් හිමි වීමට හේතුකාරක සාධකයකි. උත්ප්‍රාසය හෙවත්
සියුම් උපහාසය හා හාස්‍යය බමුණන්ට ද ඔවුන් විසින් අනුශාසිත රජුන් කෙරෙහි යොමු
කරවමින් උමංදාව නිර්මාණය කර තිබීමද එහි අගය වැඩි වීමට හේතුවකි.
මෙලෙස සලකන විට උම්මග්ග ජාතකය පැරණි
සිංහල බණ කථා සාහිත්‍යය ග්‍රන්ථ අතර උම්මග්ග ජාතකයට ම අනන්‍ය වූ ලක්ෂණ ඇති උපහාසය
හා හාස්‍යය දැනවීම අතින් සෙසු හැම ග්‍රන්ථයක් ම අභිබවා ඉස්මතු වන ග්‍රන්ථා කරයක්
බව පෙනී යයි. උද්දේශිත මේ කරුණු සෙසු පැරණි බණ කථා අතර උමංදාවට හිමි වන ස්ථානය
පිළිබඳ තවදුරටත් විමර්ශනාක්ෂියට බඳුන් විය යුතු ය.
උම්මග්ග
ජාතකයෙන් පිළිබඹු වන සමාජ තොරතුරු විමර්ශනය කිරීම
ෆෝස්
බෙල් නම් ඉංග්‍රීසි පඬි රුවන විසින් ජාතක කථා ඉංග්‍රීසියට නැගීමෙන් පසුව එය සමාජ විද්‍යාත්මක
වටිනා කමක් ඇති සශ්‍රීක මූලාශ්‍රයක් හැටියට පරිශීලනයට පෙළඹී තිබේ. 14 වන
සියවස
ගඟ සිරිපුර යුගයේ දී රචනා වන්නට ඇතැයි සලකන උම්මග්ග ජාතකය එකලාව ගෙන
විමර්ශනය
කරන්නකුට වුව ද විශේෂයෙන් පුරාතන භාරතීය සමාජය ගැනත් අවිශේෂයෙන්
ලාංකීය
සමාජය ගැනත් අවබෝධයක් ඇති කර ගැනීමට උද්ධෘතයෙන් අහුලා ගත හැකි ය.
උමංදාවෙන්
විමර්ශනය වී ඇත්තේ බමුණන් විසින් අනුශාශිත දිග් විජය චාරිකාව ප්‍රිය කළ
නරපතියන්
විසූ කාල පරිච්ඡේදයක් දේශපාලන සංව්‍යුහය කරගත් අසංකීර්ණ (සරල) වැඩ වසම්
සමාජයක්
වූවාට බ්‍රාහ්මණයින්ගේ දූෂිත ක්‍රියාකාරකම් ගැන සිතුවමක් උමංදාවෙන් මවාගත
හැකිය.
උමංදාවෙන්
හමුවන උසස් පෙළේ බ්‍රාහ්මණයින් අතිශයින් දූෂිත කපටි, කුහක, දුෂ්චරිතවත් පුදද්ගලයන්
සේ දැකිය හැකි ය. පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුට අනුශාසනා කරමින් කෙවුලා යන
අර්ථය ඇති කේවට්ට බ්‍රාහ්මණයා අත්ත බිඳෙයි පය බුරුලෙන් නව කථාවේ ගැටමාන්තගේ
චරිතයයේ ද දක්නට ලැබෙන මාරාන්තික ඇමවලට පුද්ගලයන් ග්‍රහණය කර ගන්නා කෙනෙකි.
උමංදාවට
හසු වී තිබෙන සමාජයේ බොහෝ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් වීමට මහෞෂධ පණ්ඩිතයන් යව
මැදුම් ගම වාසය කළ අවධියේ එතුමා විසින් ස්වකීය තර්ක බුද්ධිය මෙහෙයවා විස රජනය කළ
ප්‍රශ්න එතුමාට සම්බන්ධ කථා වලින් තේරුම් ගත හැකිය. උමංදාවට හසු වී ඇති ග්‍රාම
මූලස්ථ සමාජයේ ගෘහස්ථ ජීවිතයට දෙනෙත් යොමු කිරීමට අතිශයින් ප්‍රබල ලෙස උපනිශ්‍රය
කරගත හැකි කථා වස්තු දෙකක් හැටියට ගෝලකාල හා සිරිකාලකණ්න යන ප්‍රශ්න ඉදිරිපත් කළ
හැකි ය. ගෝලකාල ප්‍රශ්නයේ හමුවන කාලගෝල දික්තල යන පාත්‍රයින් දෙදෙනා ඔවුන්ගේ සමාජ
ජීවිතය අසාර්ථක කර ගත් අය වෙති. සහජයෙන් ලද අජුව නිසාම වසර 7 ක් බැලමෙහෙවර කොට වුව
ද ලබාගත් අඹුවගෙන් කාලගෝලට සෙනෙහසක් නොලැබේ. දික්පිටිය මුලාවෙන් අන්සතු බිරියක්
පැහැර ගෙන යන්නෙකි. මහෞෂධ පණ්ඩිතයන් සමාජ ධර්ම වලට මුල් තැනක් දෙමින් දික්තල
කාලගෝලට ම හිමිවන හැටියට ම ප්‍රශ්නය විසඳහා ඇත. මේ කථාව කියවන පාඨකයාට උමංදාවට හසු
වුණු පංති විෂමතාවෙන් යුත් සමාජයේ පැවැති දුබලතා නිරීක්ෂණයට අවස්ථාවක් පාදාගත හැකි
ය. සිරිකාලකණ්ණ ප්‍රශ්නයෙන් තත්කාලීන තක්ෂිලාව කේන්ද්‍ර කොට පැවැති වනපොත් කිරීම
අධ්‍යාපන මාධ්‍යය කර ගත් ගුරු කුල සම්ප්‍රදායේ ස්වරූපය විමර්ශනය කෙරේ. එම තක්ෂිලාව
බමුණු විදුහලෙන් දුන් ගතානුගතික අධ්‍යාපනයේ දුබලතා පිංගුත්තරට හිමි වුණු උදුම්බරා
නමැති දිසාපාමොක් දියණියගේ සෙනෙහස ලබාගෙන ගෘහස්ථ ජීවිතය සාර්ථක කර ගැනීමට අපොහොසත්
වීමෙන් පෙනේ. දිසාපාමොක් දුන් අධ්‍යාපනයේ ඇති දුබලතා වලට සවන් දීමට ද මේ කථාව
මුලාශ්‍රයක් කර ගත හැකිය. පිංගුත්තරගේ ස්මරණ ඉන්ද්‍රිය හැර සෙසු ඉන්ද්‍රියයන්
තක්ෂිලා ගුරු කුලය නිෂ්ක්‍රිය කර ඇත.
මහෞෂධ
පණ්ඩිතයන් යව මැදුම් ගම්මානය සුධර්මා වැනි දිව්‍ය ශාලාවක් ද නන්දන බඳු පොකුණ ද
වෙනත් තිඹිරි ගෙවල් ද ආගමික ඇඳුරන් පිළිගැනීමට ස්ථාන ද ඉදි කර ආදර්ශමත් ගම්මානයක්
හැටියට සමෘද්ධියට පත් කර ඇත. යව මැදුම් ගමේ මහෞෂධකර වූ පොකුණ ප්‍රයෝජනයට ගත් ආකාරය
පුත්‍ර ප්‍රශ්නයට සවන් දෙන විට අවබෝධ කර ගත හැකි ය. පැන් සැනහීම් එක ස්ත්‍රියක
විසින් කළ ආකාරය විස්තර කරද්දී අපට සමාජ තොරතුරු රැසක් අවුලා ගැනීමට ඉඩ සලසා ඇත.
අමරා දේවිය උදෑසනම සුළු කැන් පිස ගෙන පියාණන් සානා තැනට යන අවස්ථාව ප්‍රේක්ෂා කරන
පාඨකයාට තත්කාලීන ඉන්දීය සමාජයේ සරල කෘෂිකාර්මික දිවි පැවැත්ම ගැන අවබෝධයක් ඇති කර
ගත හැකිය.
මේ
අවබෝධය ශ්‍රී ලංකාව සමගද සමාන කරණය වේ. පහත උද්ධෘතය ලංකාව ඉන්දියාව ආදි කොට ඇති
කෘෂිකාර්මික ආසියාතික කවර වැඩවසම් සමාජයක වුව ස්වරූපය නිරීක්ෂණය ද කරවති.
“ අමරා
දේවි හිසින් දර මිටියක් හා හිනෙන් පලා හිනක් අරගෙන වලින් අවුත් ඉදිරියේ දොර දර
මිටිය හෙළා පෑල දොරින් ගෙන් ගෙට වන්නීය. ‘’
මේ
උපුටනයෙන් සමකාලීනයන්ගේ විප්‍රයුක්තියට ගොදුරු වී ඇති ආදි කාලීන සමාජ සම්ප්‍රදායක
විශේෂත්වය ද නිරීක්ෂණයට අවස්ථාව ලැබේ. උමංදා සමාජයේ පැවැති සමාජ හැසිරීම් රටා
තේරුම් ගැනීමට ඉවහල් වන වාක්‍ය ප්‍රදේශයද අහුලා ගත හැකිය. කිසියම් වර ප්‍රසාදයක්
ලෙස ඉඩ කඩම් ආදිය ප්‍රදානය කරන විට ඒවා අත පැන් වත්කර දෙන සිරිතක් පැවැති බව වේදේහ
රජ්ජුරුවෝ සිරිවඩන සිටාණන්ට නැගෙනහිර යව මැඳුම් ගම පමුණු කොට ( සින්නක් කර) දෙන විට
අත පැන් වත්කළ අවස්ථාවෙන් සිතා ගත හැකි ය. ලකුණ්ඨක ප්‍රශ්නය කියන විට පොහොය දිනවල
පණිවා කළවුන් නොසිටි බව දැකිය හැකි ය.
තර්ක
බුද්ධිය ප්‍රයෝජනයට ගෙන උමංදා සමාජයේ ප්‍රශ්න මහෞෂධ පණ්ඩිතයන් විසින් විසඳනු ලබයි.
පුත්‍ර ප්‍රශ්නයේ දී දිග ඉරක් ඇඳ දරුවාගේ අයිතිය විනිශ්චය කළ අවස්ථාව පාඨනය කරන
අපට නීතිය සාධාරණ ලෙස ඉටුවුණු සමාජයක් කල්පනාවට ගත හැකි වේ. නමුත් සේනක, කේවට්ට
වැනි දූෂිත හා උගුල් අටවන බ්‍රාහ්මණ අමාත්‍යවරු මීට ඉඳුරා වෙනස් ලෙස ක්‍රියා කර
තිබෙන බැවින් උමංදාව තුළ දැකිය හැක්කේ පොදුවේ බොහෝ සමාජ අසාධාරණකම් සිදු වී ඇති
සමාජ රාමුවක් බවයි.
උමංදාව
කියවන විට සමාජ ක්‍රමය කෘෂිකර්මය මත පදනම් වී තිබුණු බව පෙනෙන අතර වෙළඳාම, පේෂ
කර්මය, කුඹල් කර්මය වැනි ඒවා ද්විතීයික වැදගත්කම ගත් බව පෙනේ. කාන්තාවන්ගේ සමාජ
තත්ත්වය පිළිබඳ විවිධ කෝණ වලින් බැලීමට ද උමංදාව මුලාශ්‍රයක් කර ගත හැකිය. රාජකීය
කාන්තාව උසස් අධ්‍යාපනයක් ලබා සිටි බව තලතා දේවියගේ චරිතය පරික්ෂා කරන විට සිතාගත
හැකි ය. රාජකීය නොවූ කාන්තාවන් පවා බුද්ධිමත්ව සිටි බව අමරාදේවී හස්ත මුද්‍රාදිය
භාවිතා කරමින් අදහස් සන්නිවේදනය කළ ආකාරයෙන් සිතාගත හැකි ය. මේ අතර බුද්ධිමත් වීමට
අවස්ථාවක් නොලද සමාජයේ පීඩනයට ලක්ව සිටි කාන්තාවන් ගැන උමංදාවෙන් පැහැදිලි
අවබෝධයක් ලද නොහැකි ය. සමාජ විද්‍යාත්මක වටිනාකමක් ඇති කාන්තාවන් පරිහරණය කළ විවිධ
ආභරණ, ඇඳුම් පැළඳුම් පිළිබඳ විස්තර ද උමංදාවෙන් පාදා ගත හැකි ය. ඉන්දියාවේ රූප
සම්පත්තියෙන් අග්‍රප්‍රාප්ත ව සිටි නන්දා දේවියගේ ඇඳුම් විස්තර කරන විට කසී දේශයේ
රන්කම් කළ පිළි ඇඳ සිටි බව දැක් වේ. රාජකීය කතුන් කණක, කටක, නූපුර සහ මිණි
මෙවුල්දම් ද පැළඳ සිටි බව හෙළි වේ. වේදේහ රජු පංචාල චණ්ඩ කුමරිය විවාහ කර ගත් දින
ආතත, විතත, විතතාත, ඝන, ශුසිර යන පංචතූර්ය නාම සහිතව දින 7 ක් මුළුල්ලේ සැණකෙළි
පවත්වා ඇත. රාජකීය සමාජය කාමභෝගී සමාජයක්ව තිබුණු බව ද උමංදාවෙන් දත හැකි කරුණු
සමස්තයක් ලෙස ගෙන සලකන විට පෙනී යයි.
උමංදා
සමාජය විශාල පන්ති පරතරයක් පැවති සමාජයක් බව පෙනේ. ඒ පිළිබඳ සංකේතයක් හැටියට උසස්
කාන්තාවන් තම පළඳනාවල සර්ව සංහාරක සුවඳ ගැල් වූ අතර දුගී කතුන් පුවඟු මාලේ සුවඳ
ගැල්වීම ද දැකිය හැකි ය.
“සමුද්‍රයෙන්
නැංගා වූ තල්මස් කැල සේ”
මුදු
පරිගාන්නා සේ”
“ කොමඩු
බානා සේ ‘’
ආදී
වශයෙන් විවිධ තැන්හි උපමාලංකාර යොදෙගෙන කතා රසය තීව්‍ර කොට ඇත.
නාට්‍යානුරූපී
සංවාද යෙදීම ද, උමංදා බස් වහරෙහි ප්‍රකට ලක්ෂණයකි. තලතා දේවියගේ නුවණ පිළිබඳ අතුරු
කතාව එක ම නාට්‍යයකි. සංවාද තුළින් පැහැදිලි චරිත නිරූපණයක් සිදු වේ.
ධර්ම
යුද්ධය යෝජිත අවස්ථාව ද එබඳු එක් නිදසුනකි. සියලු උපාය ව්‍යර්ථ වූ කල, කේවට්ට තවත්
යෝජනාවක් කරයි.
“ මමත්
මහා නුවණැත්තෙක්මි. එක් ලෙසකින් ඔහු පරදවා පියමි.’’ “ආචාරිනී එලෙස නම් තමා කිමිද? “
“ධර්ම
යුද්ධ නම් දෙයක් කරමි.” “ධර්ම යුද්ධ නම් කිමද ? “
මෙසේ
සජීවී සංවාදය තුළින් අවස්ථාව කදිමට නිරූපණය වේ.
උමංදාව
අනුප්‍රාසාතක යෙදුම් තුළින් ද ශබ්ද මාධූර්යය ඇති කරයි. මේ එබඳු තැනකි.
“හස්ති
ශබ්ද යැ, අශ්ව ශබ්ද යැ, වීණා ශබ්ද යැ, මෘදංග ශබ්ද යැ, ගීත ශබ්ද යැ, තාල ශබ්ද යැ,
විදුව, ගනුව, අනුව යි මෙසේ දශවිධ ශබ්දයෙන් යුක්ත වුව.”
හාස්‍ය
රසය ජනිත කිරීමෙන් ද උමංදාවෙහි බස රසවත් වී ඇත. සතර කන්මන්ත්‍රණය කරන අවස්ථාව හොඳම
නිදසුනකි.
සාල්ලේක
ලා ලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිසැ වර්චස් පිඬක් හෙළා, කිමෙක් දැයි
කට දල්වා උඩ බැලූ තැනැත්තවුගේ මුඛයෙහි නැවත වර්චස් පිඬක් හෙළා....’’
යනුවෙන්
හාස්‍ය හා උපහාසය මුසු කරමින්, චිත්ත රූප නැංවෙන සේ කදිමට අවස්ථා නිරූපණය කිරීමට
උමංදාකරු සමත්ව ඇත.
උමංදා
බස් වහරෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි ද්‍රවිඩ වචන මිශ්‍රව තිබීම. මේ කාලය වන විට
වරින් වර පැමිණි ද්‍රවිඩ කණ්ඩායම් ලංකාවේ රාජ්‍ය අර්බුද වලට බෙහෙවින් බලපෑ අතර
සමාජ සංස්කෘතික අංග කෙරෙහි ද බලපවත්වන්නට විය. මේ නිසා ද්‍රවිඩ සිංහල භාෂා සම්මිශ්‍රණයක්
ද සිදු වන්නට ඇත. උමංදාවේ සමහර තැන්වල ද්‍රවිඩ වචන සම්මිශ්‍රණය වීම නිසා සිංහල
සාහිත්‍යයට ද ද්‍රවිඩ බලපෑම ඇති වූ බව සනාථ වෙයි. මේ එබඳු තැන් ය. ද
“ සිය
ගණන් සාරි ගෙවල් හා වට බැඳි වෙට්ටම් ද ලවා වාසලක් පාසා පුලිමුඛම්......
මෙහි
වෙට්ටම්’ ‘පුලිමුඛම් ‘ වැනි වචන ද
තවත් තැන්වල එය ‘සින්නහර’ ‘ තන්තිරිපට වැනි වචන ද්‍රවිඩ භාෂාව
බලපෑ බවට නිදසුන්ය. ද
එසේම
සංස්කෘත වචන භාවිතය ද ඇතැම් තැන්වල දක්නට ලැබෙයි.
“ සුවඳ
තෙලෙහි නඟන ලද පහන් ආලෝකයෙන් ගන්ධ දාම පුෂ්පදාමාවලම්හිත නා නා වර්ණ විචිත්‍ර
විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රී යහන් ගර්භය දෙස බලන්නාහු....’’
තැන්
තැන්වල පාලි පාඨ හා පාළි ගාථා ඇතුළත් කිරීම ද උමංදා බස් වහරෙහි තවත් ලක්ෂණයකි.
ජාතක කතා කියාගෙන යන අවස්ථාවේ දී කරුණු පැහැදිලි කිරීම සඳහා තමන් වහස්නේ ම
ඉදිරිපත් වී දෙසන ලද ගාථා කිහිපයක් තිස් අටවැනි පරිච්ඡේදයේ එයි. තවත් තැනෙක “බෝධි සත්තානං
අධිප්පයා නාම ඉච්ඡන්ති’’ යනුවෙන් සඳහන් වේ. ඒවා පාලි භාෂා මිශ්‍ර බස්
වහරක් බවට නිදසුන් දෙයි. පාලි සාහිත්‍යයේ ආභාසය මෙකල සිංහල සාහිත්‍යය කෙරෙහි බලපෑ
බවට සනාථ කරන්නකි.
උමංදාවේ
බස්වහර ඇතැම් විට නූතන කෙටි කතාවල බස් වහරටද සමාන වන්නේ ය. ජනපථ ප්‍රශ්නය, ස්ත්‍රී
ප්‍රශ්නය, සිරි කාලකණ්ණි ප්‍රශ්නය මෙයට හොඳ නිදසුන්ය.
ඉහත කී
අයුරින් උමංදාවෙහි බස් වහර ඉතා විශිෂ්ට ගුණයෙන් යුක්ත බව පෙනේ. මෙය ඉතා ම දීර්ඝ
ජාතක කතාව වුව ද කිසි අපහසුවකින් තොර ව කියවා ගෙන යා හැක්කේ මෙහි විශිෂ්ට බස් වහර
නිසා ය. ශ්‍රව්‍ය ගෝචර බස් වහරක් අනුගමනය කළ ද විශිෂ්ට වු භාෂා ලක්ෂණ නිසා රසයට
කිසිදු හානියක් සිදු වී නොමැත. අර්ථ රසය ද හීත නොමැත. බස් වහරෙහි ඖචිත්‍ය භාවය
නිසා ම අවස්ථා හා සිද්ධි ද මැනවින් නිරූපණය වී ඇති බව කිව හැකි ය.
උමංදාව
තුළින් ඉස්මතු වන සාර ධර්ම හා උකහා ගත හැකි ආදර්ශ
ජාතක
කතාකරුවාගේ පරමාර්ථය වූයේ සාරධර්ම අගයන යහපත් ජන සමාජයක් බිහි කිරීමයි. මේ අනුව
උම්මග්ග ජාතකය තුළින් ද බොහෝ සාරධර්ම හා ආදර්ශ ඉස්මතු කොට ගත හැකි ය. මනෞෂධ
පණ්ඩිතයන්ගේ චරිතය තුළින් අපට මිනිස් සංහතිය කෙරෙහි පතළ දයාව, කරුණාව ඉස්මතුව
පෙනේ. එතුමා උපන් දින ම තවත් කුමරුන් දහසක් ඉපදුණු බව ද සිරිවඩන සිටුතුමා ඔවුන්
වෙත කුමාර පළඳනා සහ කිරි මවුන් වූ බව ද සඳහන් ය. තමන්ගේ දරුවන් ගැන පමණක් නොව
සිටුතුමා අනෙක් දරුවන් කෙරේ ද දයා කරුණාව දැක්වීම සමාජයට උසස් ආදර්ශයක් ගෙන දෙයි.
මහෞෂධයන්
ද සියලු දෙනා කෙරෙහි පතළ මානව දයාවෙන් යුක්ත වූ බවට නිදසුන් මෙහි සුලභය. කුමාර
අවධියේ පටන්ම මහජන සුභ සාධනය උදෙසා කටයුතු කිරිමත් මහජනයාගේ ගැටළු විසදා ඔවුන්
නිසි මඟ යැවීමත් රාජ්‍ය පාලනය භාරගත් තැන් සිට රට වැසියා සුඛිත මුදිත කිරීමට
පෙළඹීමත් මෙයට නිදසුන් ය. එසේ ම කුමාර අවධියේ සිට හිත මිතුරු යෝධයන් දහස සමඟ එක්ව
කළ ශාලා තැනීම සඳහා මුදල් ඉපයූ අන්දම ශාලා තැනවීම උයන් පොකුණු කරවීම ආදියෙන්
එකමුතුකම සාමූහිකත්වය කඩිසර බව තීක්ෂණ ඥානයෙන් කටයුතු කිරීම වැනි මහඟු ආදර්ශ උකහා
ගත හැකි ය.
එසේ ම
සතුරාට ද දයාව කරුණාව එක සේ දැක්වීම ද මෙයින් මතුවන තවත් උසස් ගුණ ධර්මයකි. තමන්ට
හැම විටම විපත් කළ, මරවන්නට පවා තැත් කළ, යටි උගුල් වලට හසු කිරීමට මාන බැලු
සේනකාදී පණ්ඩිතවරුන්ට දයාව දැක්වූ බව පෙනේ. සේනකාදීන්ගේ රහස් එළිවීමෙන් කෝපයට පත්
වේදේහ රජු ඔවුන් මරණයට නියම කළ විට ඔවුන්ට ජීවිත දානය දීමට ද මහෝෂධයෝ කටයුතු කළහ.
එක් සියයක් රජ දරුවන්ට විෂ පොවා මැරීමේ සාපරාධී ක්‍රියාව වැලකීමෙන්ද චූලනී බ්‍රහ්මදත්තගේ
සේනාව පසු පස එළවා පහර නොදීමෙන්ද මානව දයාව හා කරුණාව ඉස්මතු වෙයි. ඒ අනුව උමංදාවේ
මහෞෂධ චරිතය තුළින් මානව දයාව පතළ කරුණාව සතුරාට ද මෛත්‍රී කිරීම, කළ වරදට සමාව
දීම වැනි ගුණාංග සමාජය තුළ ප්‍රගුණ කරමින් මනා ආදර්ශයක් දෙයි.
යුතුකම් හා වගකීම් අකුරටම ඉටු කිරීම ද
මෙහි දැක්වෙන හොඳ සාර ධර්මයකි. රටත්, රජුත්, වැසියාත් සුඛිත මුදිත කිරීමට ආරක්ෂා
කිරීමට මහෞෂධයන් කැපවීමෙන් ක්‍රියා කළ ආකාරයෙන් ඉහත කී ගුණාංගය ද සමාජය තුළට දායාද
කෙරේ. එසේ ම පරාර්ථ චර්යාව පිළිබඳ මහගු ආදර්ශයක් මේ චරිතය තුළින් ඉස්මතු වේ.
කළ ගුණ සැලකීමේ ගුණය ද උමංදාව තුළින්
කැපී පෙනෙයි. මහෞෂධයන් සිය චර පුරුෂයන්ගේ පවුල් වල අයට හා අනුකේවට්ටයාගේ පවුලේ අයට
සැලකූ ආකාරය මෙයට නිදසුන් ය. එසේ ම උදුම්බරා දේවිය ද තම ජීවිතය රැකදුන් මහෝෂධයන් ව
සේනකාදීන්ගේ උගුලෙන් මුදවා මරණයෙන් බේරා ගැනීමේ ක්‍රියාව ද කළගුණ සැලකීමේ ගුණය ප්‍රකට
කරවයි. ආදර්ශයක් දෙයි.
එසේම සේවකයත් ස්වාමින්ට හොඳින් සේවය
කිරීම ද ස්වාමියා සේවකයන්ට හොඳින් සැලකීම ද උතුම් ගුණයක් බවට උමංදාව ආදර්ශය දෙයි.
ස්ථානෝචිත ප්‍රඥාවෙන් දුර දක්නා
නුවණින් කටයුතු කිරීමෙන් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බවට උමංදාවෙන් ආදර්ශය දෙයි.
එසේ ම දුර දිග නොබලා අවිචාරයෙන් ක්‍රියා කිරීමෙන් තමාට ද අනුන්ට ද අවැඩක් ම වන බව
කේවට්ට, චූලනී බ්‍රහ්මදත්ත ආදීන්ගේ චරිත වලින් ඉස්මතු කෙරේ.
ඉවසීමේ ගුණය ද උසස් චරිතාංගයක් බව
මහෞෂධ චරිතයෙන් පෙනේ. සේනකාදීන්ගේ බස් වලට රැවටුණු වේදේහ රජු මහෞෂධයන්ට පරිභව කළ
අවස්ථාවේ නිහඬ ව ම ඉවසීමෙන් යුතුව එතැනින් යාමට මහෞෂධයෝ පෙළඹුන හ.
අවංක භාවය හා පොරොන්දු කඩ නොකිරීමද
උමංදාවෙන් පිළිබිඹු වන තවත් ආදර්ශයකි. මහෝෂධයන් කෙරේ පැහැදුණු බ්‍රහ්මදත්ත රජු
එතුමා තමා වෙත නවතා ගන්නට තැත් කළ විට " වේදේහ රජ්ජුරුවන්ගේ මහෞෂධ පණ්ඩිතයන්
ය කිවවුන් ලවා බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ පණ්ඩිතයෝය නො කියවමි " යි යන ප්‍රකාශයෙන්
එතුමාගේ අවංකත්වය හෙළි වෙයි. වේදේහ ඉවත ටිජු ර ටීම මහ්මදත්ත රජුට වූ රජු වෙත ගියේ
ද තමා බ්‍රහ්මදත් රජුගේ මරණයෙන් පසුව ආපසු බ්‍රහ්මදත්ත රජු වෙත ගියේ ද තමා
පොරොන්දුව කඩ නො කිරීම සඳහා ය.
මේ අනුව අවංක භාවය හා පොරොන්දු කඩ
නොකිරීමේ ගුණය ද උමංදාවෙන් හෙළි වේ. මෙසේ සාරධර්ම ගුණවගා කරන සමාජයට උතුම් ආදර්ශ
දෙන කෘතියක් ලෙස උමංදාව හැඳින් විය හැකි ය.
එසේම මෙහි එන ආදර්ශ හා උපදෙස් තත්කාලීන
සමාජයට පමණක් නොව වර්තමාන සමාජයට ද අනාගත සමාජයටද බෙහෙවින් ම ප්‍රයෝජනවත් වෙයි.
එහෙයින් උමංදාව යහපත් පුද්ගලයින්ගෙන් සපිරුණා වූ සමාජ වාතාවරණයක් සැකසීම සඳහා
බෙහෙවින් ම ඉවහල් වන බව ද කිව හැකි යි සමස්තයක් වශයෙන් ගතහොත් උමංදාව සර්වකාලීන
වටිනාකමකින් යුත් අපූර්ව ගණයේ සාහිත්‍ය නිර්මාණයක් බව ඉඳුරාම කිව යුතු ය.
මෙම සටහන මා සන්තකයේ තිබූ විචාර කිහිපයක්
ආශ්‍රයෙන් නිර්මාණය කළ නිසා. මුල් නිර්මාණවල කර්තෘවරුන්ගේ නම් නොදන්නා හෙයින් පළ
කිරීමට නොහැකි වුවත් ඔවුන්ගේ කතර්දෘත්වය මෙහි දී සිහිපත් කරමි.
🙏 ස්තූතිය
තුන් හෙළයේ සිංහල පන්තිය
උපුටා ගැනීමකි.
Comments
Post a Comment