ක්‍රියා පද ( සරල අවබෝධයක්)
ක්‍රියා පද ( සරල අවබෝධයක්)
කිසියම් කිරීමක්, විදීමක් හෝ සිදුවීමක් හගවන පද ක්‍රියා පද ලෙස හදුන්වයි.
කිරීම් - දුවයි කරයි ලියයි
විදීම් - සිනාසෙයි රවයි රිදවයි
සිදුවීම් - පිපෙයි පරවෙයි හමයි.
• කිරීමක් වීමක් සහිත වාක්‍ය තෝරන්න .
1. මොනරු පිල් විදහා නටති.
2. ගොවියා වී වපුරයි.
3. සඳ රැස් පැතිරේ.
4. මව දරුවන්ට කිරි පොවයි.
5. බුදුරජාණන් වහන්සේ දහම් දෙසූහ.
6. ඔබ කවි ලියන්නෙහි ය.
7. අපි පාසල් යමු.
8. වසන්තයෙහි කුසුම් පිපේ.
9. නුඹ පුටුව සාදහි.
10. දියරැලි වෙරළට පැමිණේ.
ක්‍රියා මූලය හෙවත් ධාතුවට ආඛ්‍යාත ප්‍රත්‍ය එක් වීමෙන් ක්‍රියා පද සෑදේ.
ක්‍රියා මූලය(ධාතුව ) + ආඛ්‍යාත ප්‍රත්‍ය = ක්‍රියා පද
උදා : බල + යි = බලයි
බිඳ + එයි = බිඳෙයි
ක්‍රියා මූලය සොයා ගන්නා ආකාරය
• ප්‍රයෝජ්‍ය අර්ථයේ යෙදීම
උදා :කළේය > කරයි > කරවයි- කර+ව+ යි කර (ධාතුව)
බිඳෙයි > බිඳ +ව+ යි බිඳ (ධාතුව)
> සරසවති සරස+ව+ති >සරස (ධාතුව)
අභ්‍යාස කරන්න
1) පැළදූහ
2) හැඬෙයි
3) දිව්වේය
4) හදාළේය
5) පිසයි
මිශ්‍ර ක්‍රියා අර්ථයේ යෙදීම
වදාළේය > වදාරයි > වදාර +මින් > වදාර (ධාතුව)
නැටී > නටයි >නට + මින් >නට (ධාතුව)
රඟ රඟා > රඟ (ධාතුව)
බල බලා > බල (ධාතුව)
අභ්‍යාස කරන්න
1) සඟවයි
2) පිසයි
3) නඟයි
4) දවයි
5) නිවුවේය.
ක්‍රියා පදයක මූලික ලක්ෂණ හඳුනා ගනිමු.
වචන භේදය
පුරුෂ භේදය
කාල භේදය
කාරක භේදය
ලිංග භේදය
වචන භේදය (සංඛ්‍යා භේදය )
• ඒක වචන - ක්‍රියා පදයෙන් එක් කෙනෙක්, එක් දෙයක් ප්‍රකාශ වීම
උදා :
බල්ලා සොරුට බුරයි.
තෝ/ නුඹ /ඔබ වැඩ කරහි.
මම සෙල්ලම් කරමි.
• බහුවචන - ක්‍රියා පදයෙන් වැඩි දෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ප්‍රකාශ වීම
උදා :
බල්ලෝ සොරුන්ට බුරති.
තොපි / නුඹලා / ඔබලා වැඩ කරහු.
අපි සෙල්ලම් කරමු.
අ. පහත වාක්‍ය බහු වචනයට හරවන්න.
I. ළමයා පාසලට ගියේ ය.
II. වෙළෙන්දා බඩු විකුණයි.
III. ඈ ගීයක් ගයන්නීය.
IV. තෝ ඒ වැඩය නිම කෙළෙහි.
V. මම ඔහුට තෑග්ගක් දුනිමි.
VI. ළමයා කන්දට නගී.
VII. මම ගමට ගියෙමි.
VIII. ඔබ කුමක් කියහි.
IX. ඔහු කිසිවක් නොදනියි.
X. තවුසා සිල් රකින්නේය.
ආ. පහත දැක්වෙන වාක්‍ය ඒක වචනයට හරවා ලියන්න.
I. මොනර පිල් විදහා නටති.
II. ගෙවිලියෝ කුඹුරෙහි වල් නෙළූහ.
III. අපි අනුරපුර නටබුන් නරඹන්නෙමු.
IV. තොපි දළදා පෙරහැර නැරඹුවවහු ද?
V. ඇත්තු සොඬින් පැන් බොති.
VI. නුඹලා අමා මහ නිවන් දකිහු.
VII. දෙවියෝ අප ආරක්ෂා කරති.
VIII. ඔවුහු ඔවදන් පිළිපදිති.
IX. ගුරුවරු පාසලට පැමිණෙති.
X. හාවෝ වනයේ පිනුම් ගසති.
පුරුෂ භේදය
ක්‍රියාව කරන්නාගේ පුරුෂය අනුව අවසාන ක්‍රියාව යෙදීම නියමයකි. ඒ අනුව පුරුෂ තුනකි.
ප්‍රථම පුරුෂ ( තමා ඉදිරියේ නොසිටින අය කියැවෙන ක්‍රියාව)
උදා :
ඔහු / හෙතෙම / අයියා ගෙදර යයි.
ඔහු / හෙතෙම / අයියා ගෙදර ගියේය.
ඔහු / හෙතෙම / අයියා ගෙදර යන්නේය.
ඔව්හු / අයියලා ගෙදර යති.
ඔව්හු / අයියලා ගෙදර ගියෝය.
ඔව්හු / අයියලා ගෙදර යන්නෝය.
මධ්‍යම පුරුෂ ( තමා ඉදිරියේ සිටින අය ගැන කියැවෙන ක්‍රියාව )
උදා :
තෝ / නුඹ / ඔබ ගෙදර යහි.
තෝ / නුඹ / ඔබ ගෙදර ගියෙහි.
තෝ / නුඹ / ඔබ ගෙදර යන්නෙහි .
තොපි / නුඹලා ගෙදර යහු.
තොපි / නුඹලා ගෙදර ගියෙහු.
තොපි / නුඹලා / ගෙදර යන්නෙහු.
උත්තම පුරුෂ ( තමා හා තමන්ලා අය ගැන කියැවෙන ක්‍රියාව )
උදා :
මම ගෙදර යමි.
මම ගෙදර ගියෙමි.
මම ගෙදර යන්නෙමි.
අපි ගෙදර යමු.
අපි ගෙදර ගියෙමු .
අපි ගෙදර යන්නෙමු.
කාල භේදය
ක්‍රියාව අනුව කාලය
අතීත, ( අවසන් / ගෙවී ගිය කාලය හැඟවෙන ක්‍රියාව )
උදා :
• ඔහු / හෙතෙම / අයියා ගෙදර ගියේය.
• ඔව්හු / අයියලා ගෙදර ගියෝය. / ගියහ.
• තෝ / නුඹ / ඔබ ගෙදර ගියෙහි.
• තොපි / නුඹලා ගෙදර ගියෙහු.
• මම ගෙදර ගියෙමි.
• අපි ගෙදර ගියෙමු .
වර්තමාන ( දැන් පවතින කාලය හැඟවෙන ක්‍රියාව)
o ඔහු / හෙතෙම / අයියා ගෙදර යයි.
o ඔව්හු / අයියලා ගෙදර යති.
o තෝ / නුඹ / ඔබ ගෙදර යහි.
o තොපි / නුඹලා ගෙදර යහු.
o මම ගෙදර යමි.
o අපි ගෙදර යමු.
අනාගත ( ඉදිරියේ පැමිණෙන / මතු කාලය හැඟවෙන ක්‍රියාව )
• ඔහු / හෙතෙම / අයියා ගෙදර යන්නේය.
• ඔව්හු / අයියලා ගෙදර යන්නෝය.
• තෝ / නුඹ / ඔබ ගෙදර යන්නෙහි .
• තොපි / නුඹලා / ගෙදර යන්නෙහු.
• මම ගෙදර යන්නෙමි.
• අපි ගෙදර යන්නෙමු.
1. පහත වාක්‍ය අතීත කාලයට හරවන්න.
i. ලේඛකයා පොත් ලියයි.
ii. ගොවියෝ කුඹුර වපුරති.
iii. නුඹ පුටුව සාදහි .
iv. වෙළෙන්දෝ බඩු විකුණති.
v. ඇමතිවරු සාකච්ඡා පවත්වති.
vi. මම ලිපියක් ලියමි.
vii. අපි මල් පුදමු.
viii. මම පොත පාඩම් කරමි.
ix. අපි ඔවදන් පිළිපදිමු .
x. ඔහු බල්ලා සුරතල් කරයි.
xi. 2. පහත සඳහන් වාක්‍ය වර්තමාන කාලයට හරවා ලියන්න.
i. මම ගමට ගියෙමි.
ii. ගොවියා කුඹුරට ගියේ ය.
iii. ගුරුවරු පාසලට පැමිණියහ.
iv. අපි පෙරහැර නැරඹීමු.
v. නුඹ කුඹුරේ වැඩ කළෙහි.
vi. මම රචනා ලියමි.
vii. තෝ ක්‍රීඩා කළෙහි.
viii. නුඹලා ගණන් සෑදවෙහු.
ix. තොපි සීගිරිය නැරඹුවෙහු.
x. අපි පැල සිටුවමු.
3. පහත වාක්‍ය අනාගත කාලයට හරවා ලියන්න.
i. ලේඛකයා පොත් ලියයි.
ii. ගොවියෝ කුඹුර වපුරති.
iii. නුඹ පුටුව සාදහි .
iv. වෙළෙන්දෝ බඩු විකුණති.
v. ඇමතිවරු සාකච්ඡා පවත්වති.
vi. මම ලිපියක් ලියමි.
vii. අපි මල් පුදමු.
viii. මම පොත පාඩම් කරමි.
ix. අපි ඔවදන් පිළිපදිමු .
x. ඔහු බල්ලා සුරතල් කරයි.
කාරක භේදය
කර්තෘ කාරක (අවසාන ක්‍රියාවෙන් කර්තෘ උක්ත වේ නම් )
උදා :
ගොවියා කුඹුර සායි.
මව්වරු දරුවාට අවවාද කරති.
• කර්තෘ කාරක ක්‍රියා පද යොදා හිස්තැන් පුරවන්න.
i. වඩුවා ගෙයක් .......................... ( තනයි /තනති)
ii. ගුරුවරු අපට ............................ ( උගන්වයි / උගන්වති )
iii. තවුසෝ වනයට ........................ ( ගියේය / ගියෝය )
iv. මව දැරිය .............................. ( සනසයි / සනසති )
v. තෙරහු දන් .......................... ( වළද්‍යි / වළදති )
vi. දනෝ පින් ....................... ( කරති / කරති )
vii. පියා මා ........................ ( රකියි / රකිති )
viii. මී මැස්සා මලින් මලට ............................. ( පියෑඹීය / පියෑඹූහ )
ix. රජ ඇමැතියා ........................... ( කැඳවයි / කැඳවති )
x. මිනිස්සු පාරේ ගමන් ................... ( කරයි / කරති )
කර්ම කාරක ( අවසාන ක්‍රියාවෙන් කර්මය උක්ත වේ නම් )
උදා :
ගොවියා විසින් කුඹුර සානු ලබයි.
එය නිම කරන ලද්දේ රන් කරුවා විසිනි.
කුඹුර එය යන උක්ත කර්ම පදය අනුව ක්‍රියා පදය යොදනු ලබයි.
විසින් යන නිපාත පදය කරන්නාට පසුව යොදයි.
කරන්නා අනුක්ත වේ.
• කර්ම කාරක ක්‍රියා පද යොදා හිස් තැන් පුරවන්න .
i. දරුවා විසින් මව සොයනු (ලබයි / ලබති )
ii. ගවයන් විසින් ගැල (ඇදෙයි/ ඇදෙති )
iii. තා විසින් මැණික සොරකම් (කෙරිණ / කෙළේය)
iv. රජුන් විසින් වැසියෝ (රැකෙයි / රැකෙති)
xi. තොප විසින් මැණික ( සැඟවෙණි /සැඟවෙහි)
xii. සොරුන් විසින් ගවයෝ මරනු (ලද්දේය/ ලදහ )
xiii. අප විසින් බුදුහු පුදනු ( ලැබීය / ලැබූහ )
භාව කාරක ( වාක්‍යයක උක්තයක් නොයෙදී ක්‍රියා භාවය පමණක් පැහැදිලි වන සේ යෙදේ නම් )
මට හැඬිණ.
මට පොත ලියැවෙයි.
සුදුසු භාව කාරක ක්‍රියා පද යොදා හිස්තැන් පුරවන්න.
( හැඬිණ ගැයැවේ සැඟැවෙයි ඇනිණ කියැවේ
i. මට ගීත .................................
ii. අම්මාට පුතුගේ වියෝව නිසා ..........................
iii. දරුවා ඇඳ යට .....................
iv. ගොවියාට හෙනේදී පැල් කවි ...........................
v. අසරණ මිනිසාට දුප්පත්කම නිසා ඇසට කඳුළු ..................
ලිංග භේදය
ප්‍රථම පුරුෂ ඒක වචනයේ පමණක් ක්‍රියා පද යෙදෙන විට ලිංග භේදය ඉස්මතු වේ.
උදා :
තාත්තා වැඩ කළේ ය.
අම්මා වැඩ කළාය.
නැට්ටුවා රංගනයේ යෙදුණේය.
නාට්‍යාංගනාව රංගනයේ යෙදුණාය.
මල්ලි ගියත් ගැයුවේය.
නංගී ගීයක් ගැයුවාය.
මල්ලි ගීය ගයන්නේය.
නංගි ගීයක් ගයන්නීය.
උදාහරණ දෙස බලා පුරුෂ ලිංග වාක්‍ය පහක් හා ස්ත්‍රී ලිංග වාක්‍ය පහක් සකසන්න.
සිංහල භාෂාවේ ක්‍රියා පද වර්ග
විධි ක්‍රියා (අණක්/ඉල්ලීමක්) උදා:-බලනු,කරනු,කරනු මැනවි
විධානයක්,අණ කිරීමක් හැඟවෙන ක්‍රියා පද විධි ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.
විධානය ආදරයෙන් හා අනාදරයෙන් කළ හැකිය.
නිද;
1. දරුවා,මෙහාට එන්න
2. ස්වාමින් වහන්ස හෙට දානයට වඩිනු මැනවි.
විධි ක්‍රියා පද තෝරා යටින් ඉරක් අදින්න.
i. මගේ ලඟින් එහාට පල.
ii. රුපියල් දහ දහසකින් පඩි වැඩි කරවූ.
iii. කරුණාකර මෙතැනින් වාඩි වෙන්න
iv. නිසලව හිඳිනු මැනවි .
v. කලාවැවට පින් දීලා පලයල්ලා.
vi. දසරාජ ධර්මයෙන් රට පාලනය කරනු
vii. තබන තබන පය ලිස්සා වැටීයන්
viii. හොඳින් හිතන්න
• එවැනි වාක්‍ය 10 ක් ලියන්න
පුර්ව ක්‍රියා (අවසාන ක්‍රියාවට පෙර සිදු කරන ක්‍රියා)
උදා:- කර, බලා, ලියා,ගොස්
පුර්ව ක්‍රියා යනු යම් වාක්‍යක අවසාන ක්‍රියාවට පෙර කරන ලද ක්‍රියා පදයි.
නිද; ළමයා කා, බී, ඇඳ, පැළඳ පාසල් යයි.
ගොවියා ගෙය අත්හැර හේන වෙත ගියේය.
අ. පූර්ව ක්‍රියාපද යටින් ඉරක් ගසන්න.
1. වඳුරා ගෙඩි කඩා කෑවේය.
2. මෙහි අවුත් යන්න මාමා කීවේය.
3. දැරිය සිනා සී ගොත ගසා යමක් කීවාය.
4. අපි ඒ පුවත් අසා පුදුම විමු.
5. අපි නිවැරදිව අත් සෝදා කොවිඩ් පරදවමු.
6. මම ගෙදර ඇවිත් නාන්න ගියෙමි.
7. රජු සිහසුනෙන් බැස රජ ගෙට වැදුණේය.
8. අම්මා මා දැක සිනාසුණේය.
9. උපාසිකාව බුදු ගෙට ගොස් බුදුන් වැන්දාය.
10. අපි ඇළෙන් මාළු අල්ලා පව් කර ගත්තෙමු.
ආ. පූර්ව ක්‍රියාපද යොදා වාක්‍ය පහක් ලියන්න.
කර -
පිවිස -
පැළඳ -
නිඳා ගෙන -
ඉපිද -
මිශ්‍ර ක්‍රියා (අවසාන ක්‍රියාව සමඟ සිදු කරන ක්‍රියා)
උදා:-ලියමින්-ලිය ලියා
යම් වාක්‍යක අවසාන ක්‍රියාවත් සමග සිදු කරනු ලබන ක්‍රියා මිශ්‍ර ක්‍රියා වේ.
නිද; ළමයා සිනා සෙමින් පොත බලයි.
අම්මා මට බැන බැන කෑම උයයි.
අ. මිශ්‍ර ක්‍රියාපද යටින් ඉරක් අඳින්න.
උදෑසන හිරැ උදාවත් ම කිරි කොකුන් මෙන් පාසල් යන සිසුහු අතින් අහුලා ගත් ගල් දියට දමමින් කුඹුර අසල වෙරළු ගසින් ගෙඩි අහුලමින් ක කා ඇට විසිකරමින් තාලයට ගීත ගයමින් සිනාසෙමින් පාසල වෙත පියනැඟුහ.
ආ. පහත ක්‍රියා මිශ්‍ර ක්‍රියා පදයක් බවට පත් කරන්න.
ධාතුව මින් ප්‍රත්‍ය යෙදීම පූර්ව ක්‍රියාව ද්විත්ව කිරීම
බල බලමින් බල බලා
අස
ක
සනස
කොඳුර
කැඳව
හඬ
2.අසම්භාව්‍ය ක්‍රියා
නිශ්චිත නොවන ක්‍රියා අසම්භාව්‍යක් ක්‍රියා ලෙස හදුන්වනු ලබයි. එය කොටස් දෙකකට බෙදේ.
අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා
කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා
*අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා – යම් ක්‍රියාවක් සිදු නොවීමේ හෙවත් අසම්භාවී බවක්,අවිනිශ්චිත බවක් හැඟවෙන ක්‍රියා අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.
නිද;
වැසි වැස්සොත් ගඟ පිරේ.
තාත්තා ආවොත් සෙල්ලම් කාරයක් ගෙනේවි.
මේ ක්‍රියා පද යොදා වාක්‍ය තනන්න.
වැටුනොත්
ඹැලුවොත්
කෑවොත්
බීවොත්
ගියොත්
*කාලාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා – යමි ක්‍රියා පදයකින් කාලය පිළිබඳව හැගවේනම් එවැනි ක්‍රියා කාලාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.
නිද;බල්ලන් බුරද්දී සොරු පැන යති.
ගඟ ගලද්දී කොල්ලෝ ඉවුරට වි බලා සිටියහ.
3.ප්‍රයෝජ්‍ය ක්‍රියා (කවුරුන් හෝ ලවා කරවන ක්‍රියා) උදා:- කරවමි,කරවමු,බලවම්
තවත් අයෙකුගේ මෙහෙයවීමක්,බලපෑමක් ලබා සිදු කරනු ලබන ක්‍රියා පද ප්‍රයෝජ්‍ය ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.
නිද; තාත්තා අයියා ලවා මිදුල ශුද්ධ කරවයි.
අම්මා නංගි ලවා රෙදි සෝදවයි.
ප්‍රයෝජ්‍ය ක්‍රියා නිර්මාණයේ දී ධාතුවට පසුව “ව” ප්‍රත්‍ය යෙදීමෙන් නිර්මාණය කර ගනී.
කර+ව+යි=කරවයි)
ප්‍රයෝජ්‍ය ක්‍රියා සහිත වාක්‍ය පහක් නිර්මාණය කරන්න.
4.
6.ආශිර්වාද ක්‍රියා(කෙනෙක්ට සුභ හෝ අසුභ ප්‍රාර්ථනාවක් කිරීම)
උදා:ලැබේම්වා,ලැබේවා,වැනසේවා
යහපත් හෝ අයහපත් ප්‍රාර්ථනයක්,ආශින්සනයක් පල කරනු ලබන ක්‍රියා පද ආශිර්වාද ක්‍රියා ලෙස හදුන්වනු ලැබේ.
නිද; සියලු සත්වයෝ නිවන් දකිත්වා!
තොප භංග වේවා!
Comments
Post a Comment