සිදත් සඟරාව
සිදත් සඟරාව
සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයේ ඉගැන්වෙන
මූලික ව්‍යාකරණ විධි පැහැදිලි කරගැනීම සඳහා පදනම් කොටගන්නා ග්‍රන්ථය සිදත් සඟරාව
යි. සිදත් සඟරාවේ ව්‍යාකරණ විධි පැහැදිලි කරගැනීමෙන් ඉනික්බිති ව සමකාලීන ව්‍යාකරණයේ
ද නූතන වාග් විද්‍යාඥයන්ගේ ද මතවාද සාකච්ඡා කළ හැකිය.
වියරණ විධි අරඹයා උගතුන් පළ කොට ඇති මතවාද
සාකච්ඡා කළ හැක්කේ ද අවබෝධය පුළුල් කොටගත හැක්කේ ද සිදත් සඟරාව පිළිබඳ සාධාරණ
ඇගයීමක් කිරීමෙන් පසුව පමණි. භාෂාවක් නිවැරදි ව ලියන්නට කියන්නට උගන්වන ශාස්ත්‍රය ‘ව්‍යාකරණ
ශාස්ත්‍රය’ නම්:
එකී ව්‍යාකරණය පිළිබඳ ව ලියැවී ඇති දැනට දෘශ්‍යමාන පළමු වැනි ග්‍රන්ථය වන සිදත්
සඟරාව පිළිබඳ දළ අදහසක් ඇති කරගත යුතු ය.
සිදත් සඟරාව ලියැවෙන්නේ 13 වන
සියවසේ දඹදෙණි කාලයේ දී ය. තුන් වැනි විජයබාහු හෙවත් දඹදෙණි විජයබා, දඹදෙණිය ගොඩනැඟූ පාලකයා ය. දඹදෙණි විජයබාහු රජතුමාගේ පුත්‍රයා වූ
කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු හෙවත් දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ
කාලයේ දඹදෙණියෙහි සෞභාග්‍යය වඩාත් තීව්‍ර විය. දඹදෙණි යුගය ජනෝපයෝගී රාජ්‍ය පාලන
යුගයකි. එකල භාෂා සාහිත්‍යය සුපෝෂණය විය. පිරිවෙන් විද්‍යායතන දීප්තිමත් විය. පාණ්ඩිත්‍යයත්
ශාස්ත්‍රාගමනයත් ප්‍රචලිත විය. දීප්තිමත් පිරිවෙන් ඇති විය. ග්‍රන්ථකරණය සුලභ විය.
දඹදෙණි කාලය ලාංකීය සාහිත්‍ය ඉතිහාසයේ රමණීයතම ගද්‍ය සාහිත්‍ය යුගය විය. එකල
රමණීයතම ග්‍රන්ථයෝ රැසක් බිහි වූ හ. ‘සිදත් සඟරාව‘ ද
එකී රන්මිණිමුතු ඇමිණූ ග්‍රන්ථ මාලාදාමයේ දීප්තිමත් මාණික්‍යයකි.
සිංහල ව්‍යාකරණය පිළිබඳව පිළිගත්
සිද්ධාන්ත සංගෘහිත කොට ලියැවුණු දැනට ශේෂ වී ඇති පැරණි ම ග්‍රන්ථය සිදත් සඟරාව ලෙස
පිළිගැනේ. එහෙත් සිදත් සඟරාව සිංහල භාෂාව හා ව්‍යාකරණය පිළිබඳ ව ලියැවී ඇති
අංගසම්පූර්ණ ව්‍යාකරණ ග්‍රන්ථයක් නො වේ.
සිදත ලියැවුණු කාලය 13 වන
සියවසේ දඹදෙණි යුගය බවට විවාදයක් නැත. එහෙත් සිදත් සඟරාවේ කතුවරයා පිළිබඳ විවාදයක්
ඇත. සිදත් සඟරාවේ විභක්ත්‍යාධිකාරයේ අවසාන පද්‍යයෙන් ද ‘පතිරජ
පිරුවනගේ සිදත’ යනුවෙන්
සඳහන් වන හෙයින් සිදත් සඟරා කතුවරයා පතිරාජ පිරුවෙන්පති බව පැහැදිලි ය. එහෙත් පතිරාජ
පරිවේණාධිපති හිමි අනෝමදස්සී නම් හිමි නමක් ද, නො එසේ නම්
වේදේහ නම් හිමි නමක් ද යන්න නිශ්චිත නැත.
වේදේහ මහතෙර ආනන්ද වනරතන මහතෙරුන් ළඟ
පැවිදි ව,
මංගල මහතෙරුන්ගෙන් බණ දහම් ඉගෙන ගෙන පලාබත්ගල ආරණ්‍යයේ වාසය කළේ
යැයි සැලකේ. වේදේහ හිමි යනු ‘සමන්ත කූට වර්ණනා’, ‘රසවාහිනී’, ‘සිංහල
සද්ද ලක්ඛණ’ ආදී
ග්‍රන්ථ රචනා කළ හිමි ය. ‘සිංහල සද්ද ලක්ඛණ’ නම්
කෘතිය ම සිදත් සඟරාව ලෙස නම් ලද බව තවත් අදහසකි. ‘සිංහල
සද්ද ලක්ඛණ’ හෙවත්
‘සිහල
සද ලකුණු’ කෘතිය
කළේ වේදේහ හිමි බව උන් වහන්සේ ම සඳහන් කරද්දී සිදත් සඟරාවේ කර්තෘ පදවිය අනවමදස්සී මාහිමියන්ට
පැවරීම සාහසිකකමක් බව එක් මතයකි.
අනවමදස්සී හිමි බ්‍රාහ්මණ වංශික
පඬිරුවනකි. උන් වහන්සේ අත්තනගලු විහාරයේ වාසය කළැයි සැලකේ. අනවමදස්සී හිමියන්
විසින් සම්පාදනය කරන ලද ‘පරෝපකාර
දෛවඥ කාමධේනු’ නම්
සංස්කෘත ජ්‍යෝතිෂ්‍ය ග්‍රන්ථයේ උන් වහන්සේ ප්‍රතිරාජ පිරිවෙනේ අධිපති බව සඳහන් වේ.
දඹදෙණි කාලයේ දේව ප්‍රතිරාජ ඇමතියා විසින් බොහෝ විහාරාරාම කරවු බව පතපොතේ කියැවේ.
ප්‍රතිරාජ ඇමැතිවරයාගේ අනුග්‍රහ ඇතිව අනවමදස්සී හිමි සිදත් සඟරාව කළ බව තවත්
මතයකි. ‘පතිරජ
පිරුවන්පතිගේ සිදත’ යනුවෙන්
සිදත් සඟරාව අවසානයේ දක්නට ලැබෙන පාඨය අනවමදස්සී හිමි සිදත් කළ බවට ගෙන එන මතය
තහවුරු කිරීම පිණිස සාක්ෂි ලෙස යොදා ගැනේ.
දෙවන පරාක්‍රමබාහු හෙවත් පණ්ඩිත පරාක්‍රමබාහු
රජුගේ ‘කව්සිළුමිණෙන්’ ගත්
නිදසුන් පාඨ සිදත් සඟරාවේ දක්නට ලැබේ. ඒ අනුව සිදත් සඟරාව කව් සිළුමිණ ලියැවුණු
කාලයට සමකාලීනව හෝ ඊට අපර කාලයේ ලියැවුණු කෘතියක් බව පැහැදිලි ය.
සිදත් සඟරාව ලිවීමේ මුඛ්‍ය පරමාධ්‍යාසය
පද්‍ය කාව්‍ය භාෂාව පිළිබඳව වාක්‍යකරණමය පදනම පැහැදිලි කිරීමයි. සිදතෙහි වියරණ
විදි,
අදියර දොළසක් යටතේ දැක්වෙන්නේ එහෙයිනි. සිදතෙහි අක්ෂර හෙවත් වර්ණ
පිළිවෙළ සකස් කොට ඇත්තේ ද පද්‍ය කාව්‍ය භාෂාව මූලාශ්‍ර කොටගෙන ය.
“මහද ගඳ කිළි කැරැ
සව්නේ ගෙවා දත් හට
දුහුනන් දැනුම් සඳහා
කරනෙම් සිදත් සඟරා”
සව්නේ ගෙවා දත් හට
දුහුනන් දැනුම් සඳහා
කරනෙම් සිදත් සඟරා”
- සිදත -
යනුවෙන් සිදත් සඟරා කතුවරයා කෘතිය ලිවීමේ
පරමාර්ථය පැහැදිලි කරයි. සකල ලෝකය ගෙවා දැනගත්තාහු හට හෙවත් සර්වඥ වූ බුදුන්
වහන්සේට කතුවරයාගේ හදවත සුවඳ කුටියක් කොටගෙන සිදත රචනා කරන බවත්, දුහුනන්
හෙවත් ආධුනික විද්‍යාර්ථීන්ගේ දැනුම් සම්පාදනය කිරීම එහි අරමුණ බවත් සිදතේ උක්ත
පාඨයේ අර්ථය යි.
දඹදෙණි කාලයේ පද්‍යකරණය සඳහා භාවිත කළේ
නුමුසු සිංහලය යි. ශුද්ධ සිංහලය යි. හෙළ වහර යි. අමිශ්‍ර සිංහලය යි. එහෙයින් සිදත්
සඟරාව ඇසුරේ අධ්‍යයනය කළ හැකි වර්ණමාලාව ‘ශුද්ධ සිංහල වර්ණ මාලාව‘ යි.
එනම් ‘නුමුසු
හෝඩිය’ යි.
සිදත් සඟරා හෝඩිය යනුවෙන් බහු ප්‍රචාරයට පත් වී ඇත්තේ සිදත් සඟරාව නම් ග්‍රන්ථයෙහි
දක්වා ඇති අක්ෂර මාලාව යි. සිදත පද්‍ය රචනයේ යෙදෙන සිංහල කවියන් ප්‍රගුණ කළ යුතු ‘කව්ලැකිය’ දුහුනන්
හෙවත් ආධුනිකයන්ට පුරුදු පුහුණු කිරීම සඳහා කෙටුම්පත් කළ ග්‍රන්ථයකි. එයින් අදහස්
කරන්නේ ‘කව්ලැකිය’ හෙවත්
කාව්‍යකරණයට විශේෂ භාෂා රීතියක් තිබුණු බවයි. ගද්‍යකරණය සඳහා භාවිත කළේ කව්ලැකිය
නො ව, ‘ලෙව්ලැකිය’ යි.
සිදත සියබස හෙවත් හෙළ බසට කෙටුම්පත් කළ ග්‍රන්ථයකි. එයින් ගද්‍ය සිංහලයට එතරම්
බලපෑමක් සිද්ධ වූයේ නැත.
කාව්‍යකරණයේ නියැළුණු ආධුනිකයන් සඳහා
සංගෘහිත ග්‍රන්ථයක් වර්තමානයේත් ව්‍යාකරණය හැදෑරීම සඳහා පදනම් කොටගන්නේ කුමක්
හෙයින් ද යන ප්‍රශ්නයක් කිසිවකුට ඇති විය හැකි ය. එයට පිළිතුර මෙසේ ය.
පළමු ව; සිදත හැර වෙනත් විධිමත්
ව්‍යාකරණ ග්‍රන්ථයක් දැනට ශේෂ ව නො පැවතීම යි.
දෙවනුව; දඹදෙණි කාලයේ කාව්‍ය
බන්ධනය කෙරුණේ ව්‍යාකරණානුකූල රීති පද්ධතියකට අනුව හෙයින් ඒ සඳහා උපදෙස් සැපයූ ග්‍රන්ථයකින්
ව්‍යාකරණයේ පදනම උගත හැකි වීම යි.
සිංහලය ව්‍යවහාර භාෂාවකි. උසස් ලේඛකයෝ
භාෂා මාධ්‍ය පිළිබඳ විවිධ අත්හදාබැලීම් කරති. එකී අත්හදාබැලීම් කාලයක් යෑමේ දී
රීති සම්ප්‍රදායක් බවට පත් වේ. ව්‍යවහාර භාෂාවක් ජීව භාෂාවක් වන්නේ එකී පරිණාමීය
හේතු ද ඇතුළත්ව ය. ලේඛනයේ මූලික මාධ්‍යය භාෂාවයි. භාෂාවේ මූල සාධකය අක්ෂර, පද
සහ ව්‍යාක්‍ය යි. ව්‍යාකරණය යනු ඒ හා සම්බන්ධ නීතිරීති පද්ධතිය යි. එය බසකට
බලහත්කාරයෙන් ආරෝපණය කරන්නක් නොව, පොදු සම්මුතියෙන්
කාලාන්තරයක් තිස්සේ භාවිත වන රීති සහ සම්ප්‍රදායන්ගෙන් ගොඩනැඟෙන්නකි. ව්‍යාකරණය
යනු ව්‍යවහාර භාෂා විනිශ්චයකි. සිදත් සඟරාකරුවා ඒ පිළිබඳව මෙසේ පවසයි.
“සද’ රුත් විදි සියල් -
අනුරූ සේ පියෝනන්
ඉති සන් සඳ සමස් ඈ - වහර’නුසෙරෙන් සපයා”
ඉති සන් සඳ සමස් ඈ - වහර’නුසෙරෙන් සපයා”
‘වහරනු සෙරෙන් සපයා’ යන්න
ව්‍යවහාරයෙන් ම රීතිය සපයා ගන්නා ලෙසට කළ යෝජනාවයි.
අඩු වැඩි වශයෙන් ශාස්ත්‍රීය අබල දුබලතා
දක්නට ලැබුණත් සිදත් සඟරාව ඔස්සේ නූතන සිංහල භාෂාවට පදනම සැකසුණු ආකාරය අධ්‍යයනය
කළ හැකි ය. ජාත්‍යන්තර ප්‍රමිතිකරණ හෝඩිය දක්වා සහ සමකේත (Unicodes)
දක්වා අක්ෂර ප්‍රමිතිකරණයකට ලක්වන, ඩිජිටල්කරණය
වූ වර්තමාන ව්‍යාකරණ අවකාශයට සිදත් සඟරාව නැවත කැඳවන්නේ ඒ ඔස්සේ සිංහල හෝඩියේ ගමන්
මඟ වැටී ඇති හෙයිනි.
උපුල් ශාන්ත සන්නස්ගල
Comments
Post a Comment